සුපර් මාකට් උන්මාදය

සුපර් මාකට් උන්මාදය.

      මම සිරිතක් ලෙස සුපර් මාකට් නොයමි. නමුත් දිනක් අහම්බෙන් ගිය විටදී කවුන්ටරය අසලටවී බඩු රැගෙන එලියට එන අය දෙස බලා සිටියෙමි. තල්ලු කරගෙන ආ විශාල කරත්ත වල තිබූ ආහාර ද්‍රව්‍ය දැක මට මහත් කම්පාවක් ඇති වූයේ, මොවුන්ට තව අවුරුදු 10 කින් අත්විය හැකි ඉරණම දැකීමෙනි. බිස්කට්ස්, එලවළු තෙල්, බටර්, මාජරින්, කේක්, නූඩ්ල්ස්, පාන්පිටි, සුදු සීනි, කිරිපිටි, අයිස්ක්‍රීම්, කිරි පැනි, වටලප්පන්, වෛවර්ණ පැනිබීම මෙගා බෝතල් ( නම් සඳහන් නොකරමි), බියර් හා මධ්‍යසාර යනාදිය සතියකට සෑහෙන්නට එහි විය. මේවා හැම එකක්ම පිරිපහදු කල ආහාර නම් වේ. මේ කරත්ත තල්ලු කරගෙන ආ අය ගැනද කිව යුතුය. ඔවුන් ලමයින්, කාන්තාවන් හා මහත්වරුන් වූ අතර, බොහෝ අය, උසට සරිලන මහතට වඩා, වැඩි තරබාරු අය වූහ. මොවුන්ගේ ජීවන රටාව ඉතා අහිතකර වන අතර, ව්‍යායාම නොකරන කුසීත ජීවිත ගෙවන්නෝ වෙති. මොවුන්ගේ ආයුෂ, මේ ආහාර පරිභෝජනය නිසාම අවුරුදු 30 කින් පමණ අඩු කර ගත්තෝ වෙති. අවසාන කාලයේ ඇඳේ ලැගීමට සිදුවන බරපතල රෝග වැළඳීමේ අනතුරට මුහුණ පෑමට නියමිත අය වෙති. බිස්කට් හදිසි ආහාරයක් වේ. එය නිතිපතා කෑම පිළිකා වලට අකාලයේ අත වැනීමක් වන්නේ එහි Trans fatty acids අඩංගු වන බැවිනි. මෙය ලමුන්ට බරපතළ ලෙස බලපායි.
          අප, ස්වභාවික, මිනිසා විසින් වෙනසකට භාජනය නොකල, පිරිපහදු නොකල ආහාර ගන්නා තරමට, අපේ ආයුෂ රැකේ. කය වෙහෙසා වැඩ කරන තරමට අපේ සෞඛ්‍යය රැකේ. අතුරුපස ලෙස පළතුරු පමණක් ගන්නා තරමට දියවැඩියාව, හර්දයාබාධ හා  අංශ භාගයෙන් නිදහස්වේ. ලමුන්ට, බිස්කට් වෙනුවට ගෙදර පිලියෙල කල, අල බතල සමග පොල්, කොස් ඇට අග්ගලා, කොලකැඳ වැනි අතුරු ආහාර ලබා දෙන්න.
          අධික තණ්හාව පසෙක ලා සරල දිවි පෙවෙතකට පුරුදු වූ තරමට මනස නිදහස්වේ. නිදහස් මනස, බොහෝ රෝග වලින් අපව මුදාලයි. සෑම දෙයක්ම ලිහිලෙන් අල්ලා ගන්න. සිතට දැනෙන පීඩනය අඩුවේ. ජීවිතය විඳවනවා වෙනුවට, ක්‍රීඩා වල යෙදී , විවේකයක් ගෙන සතුටෙන් විඳින්න.

Comments