විඥාණය පහලවීම

විඥාණය පහලවීම

    පාසැලක විදුහල්පති හා ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ගේ චිත්ත ධෛර්‍යය වැඩි කිරීමට බොහෝ දේ කල හැක. එවැනි විදුහල් වල සිසුහු ක්‍රීඩා හා විභාග වලදී බොහෝ දක්ෂකම් පෙන්වති. එවැනි පෙළඹවීම් නැති පාසැල්වල සිසුහු අයාලේ යති. නැතහොත් උකටලීව තම අධ්‍යාපනය ඔහේ ආවාට ගියාට කරගෙන යති.
       අවාසනාවට මා සාමාන්‍යපෙල දක්වා උගත්තේ එවැනි පාසලකයි. ගුරුවරුන්ට විභාගයට පෙර අපේ විෂය මාලාව උගන්වා අවසන් කිරීමට කිසිම උනන්දුවක් නොවීය. අංශ භාර ගුරුවරයා ඔහුගේ කුඹුරු වල වැඩ කිරීමට සිසුන්ව රැගෙන ගියේ සතියේ දවස් වලය. මේ නිසා අපට බොහෝ පාඩු සිදුවිය. නමුත් ගුරු ගෞරවය නිසා අපි නිහඬව සිටියෙමු. මේ නිසා අපි අයාලේ යාමටද පුරුදු වීමු. දිනක් අයෙක් යෝජනා කලේ ඒකල ගොස් රා බොමු කියාය. මෙය නැවුම් අදහසක් වූයෙන් සයිකල් වල නැගී රා බීමට ගියෙමු.
        එය ජුගුප්සාජනක අත්දැකීමක් විය. රාකට්ට අතින් ඇල්ලීමට බැරි තරම් අපිරිසිදු විය. සෙවල වැනි යමක් අතේ තැවරිණි. රා මේරූ බැවින් සැර ගඳක්ද දැණුනු බැවින් , එය නොබී බයිට් එකට ලැබුණු මය්යොක්කා කා සෑහීමකට පත් වීමි. එදා ලැබුණු එකම යහපත් දේ නම් මේ විගඩම් අත් හැර ඉගෙන ගතයුතු බවයි. ඉගෙන ගන්නා ලෙස බල කිරීමට කිසිවෙකුට කිසිදා නොහැක. අපම ඒබව පසක් කරගත යුතුය. එවිට එය අපේ වැඩක් ලෙස දැනෙනු ඇත. අනුන්ගේ වැඩ කවුරුත් ඉතා ඉහළින් ඉටු නොකරති. කිසිවෙකු අපට යමක් කිරීමට බල කරනවිට එය ඉටු කරන්නේ ඔනෑවට එපාවටය. ඒ එය අපේ වැඩක් නොවන නිසාය. දරුවන්ට උගන්නා ලෙස බල කරන දෙමාපියන් ගැන මට ඇත්තේ අනුකම්පාවකි. අශ්වයෙකුට වතුර පෙවීමට අපට නොහැක. කල හැක්කේ වතුර ඇති තැනකට රැගෙන යාම පමණි. වතුර බීම නොබීම අශ්වයාගේ වැඩකි. නොබීවොත් ඌ දිනෙක හාමතේ මිය යනු ඇත!

From Note: https://goo.gl/ScG4Hc

Comments