ලංකාවේ අරුම පුදුම දේශපාලනය.
        ලංකාවේ දේශපාලනය , ලෝකයේ වෙනත් රටවලට වඩා වෙනස්‍ වන්නේ පැති කීපයකිනි. වෙනත් රටවල මිනිසුන් තමා චන්දය දියයුත්තේ කාටදැයි තීරණය කරන්නේ, පක්ෂයේ ප්‍රතිපත්ති, රට හා ආර්ථිකය ගැන වූ ඔවුන්ගේ ප්‍රතිපත්ති ආදිය ගැන සලකා බැලීමෙනි. අපේ රටේ මිනිසුන් සිතන්නේ පක්ෂ නායකයාගේ රැවුල, බඩ, උස මහත, විවාහකද, දරුවන් සිටීද, රදලයෙක්ද, ඔහුට සිදුවූ දේශපාලන අසාධාරණකම් මොනවාද යනාදී භෞතික ගුණ ගැනයි.
               ඔවුන් සිතන ආකාරයට යුද්ධය ජය ගැනීමද තවත් සාධකයකි. එසේ සිතුවේ නම්, මැරෙනතුරු එංගලන්තයේ අගමැති විය යුත්තේ වින්ස්ටන් චර්චිල් වේ. ඒ ඔහු දෙවන ලෝක යුද්ධය එංගලන්තයට දිනාදුන් නිසාය. නමුත් ඊට පසු පැවති මහා මැතිවරණයෙන් චර්චිල් පරාජය විය.
                  එවන් නායකයින් ඉන්පසු කොපමණ දේශද්‍රොහී කටයුතු කලත් කමක් නැත. රාජ්‍ය දේපළ සොරකම් කලත් කමක් නැත. කොපමණ ඥාති සංග්‍රහ කලත් කම් නැත. කළගුණ සලකා ඔවුන්ව බලයට පත් කල යුතුය.
      අපේ මිනිසුන් සිතන අයුරු පුදුමයි. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති විය යුතුව තිබුණේ බොහෝ දැන උගත් සර් ඩී. බී. ජයතිලක මහතා විය. නමුත් ඔහුව මදුරාසියේ තානාපති කර යවා කැලෑ ජෝන් නමින් පරසිදු වැඩි දැන නූගත් ඩී. එස්. සේනානායක මහතාව අගමැති කරවීය. ඒ ඔහු අමද්‍යප ව්‍යාපාරයේදී හා නිදහස් සටනේදී විඳි සිර දුක් නිසාවෙනි. ඒවාට කළගුණ සැලකීමටය.
          ඉන්පසු ඔහුගෙන් පසුව අගමැති කමට සුදුස්සෝ දෙදෙනෙකු විය. ඒ  සර් ජෝන් කොතලාවල හා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක යන මහතුන් විය. මින් දෙවැන්නා ඉදිරියේ වීමට යන දේ දැන, එනම් ඩඩ්ලි පස්ස දොරෙන් අගමැති කරවීමට සෝල්බරි සාමි සමග වූ ගිවිසුම දැන, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාදා ගෙන 1956 බලයට පත් විය.  අසරණ ජෝන් කොතලාවල මහතා දේශපාලනය සදහටම අත් හැර ගෙදර ගියේය. බණ්ඩාරනායක මහතා අවසානාවන්ත ලෙස 1959 දී ඝාතනය වූයෙන් එම පරපුරට වූ අසාධාරණය නිවැරදි කිරීමට, සක්‍රිය දේශපාලනයේ නොවූ සිරිමාවෝ බන්ඩාරනායක මහත්මි‍ය, පාර්ලිමේන්තුවේ ආසනයක් පවා තරඟ නොකර එවක පැවති සෙනෙට් සභාවට පත් කරවා එමගින් අගමැතිනිය බවට පත් කරවීය. මේ නිසා එම තනතුර හිමිවීමට සියළු සුදුසුකම් තිබූ හිටපු සභානායක සී. පී. ද සිල්වා මහතා කළකිරීමෙන් 1964 දී එක්සත් ජාතික පක්ෂයට එක්විය.
          1965 දී ඩඩ්ලි සේනානායක මහතා නැවත අගමැති කෙරෙව්වේ ඩී. එස්. සේනානායක මහතාට කරන ගරු කිරීමක් ලෙස හා 1953 දී ඔහුට හර්තාලය නිසා අගමැති තනතුර අකාලයේ දමා යාමට සිදුවීමෙන් වූ අසාධාරණය නිවැරදි කිරීම සඳහාය. වගා සංග්‍රාමයක නිරත වුවද ඔහු 1970 දී අන්ත පරාජයකට පත්වී විපක්ෂ නායක කමද ජේ. ආර්. ජයවර්ධන මහතාට දී ගෙදර ගියේය.
             ඔහු ඩඩ්ලි සමග පක්ෂ නායක කම උදෙසා පොරයක නිරත වුයෙන්, ඩඩ්ලිගේ ඇවෑමෙන් නායක වූ ජේ. ආර් ට සාධාරණය ඉෂ්ඨ කරවීමට මිනිස්සු 1977 දී ඔහුට විශාල මැතිවරණ ජයක් ලබාදී අගමැති කරවීය. ඔහු ඉන්පසු ජනතාවගෙන් නිසි වරමක්ද නොමැතිව තමා විසින්ම තමාව විධායක බලතල ඇති පළමුවන ජනාධිපති බවට පත් කරගෙන අසීමිත බලයක් භුක්ති වින්දේය.
         ඔහුගේ කාලයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා විජයට බොහෝ දුක් ගැහැට විඳීමට සිදුවිය. ඇයම පසුව කී පරිදි, සැමියාට ඇය ගෙනගිය බත්මුල අවුස්සා පිළුනු කර කන්නට දිය. සැර විදුලි ආලෝකය දල්වා විජයගේ ඇස් අන්ධ කරවීමට තැත් කලේය. අවසානයේ 1988 දී ඔහුව ඝාතනය කරවීය. දරුවන්ට රජයේ පාසලට ඇතුළු වීමට, අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ නොදුන් නිසා "අන්තර්ජාතික පාසැල්" වලට යැවීමට සිදුවිය. ඔසී අබේගුනසේකර ලවා ඇයව ඝාතනය කරවීමට උත්සාහ දැරීය. මේ නිසා 1994 දී  මිනිස්සු ඇයව අගමැතිනි කරවීමෙන් නොනැවතී 1996 දී ජනාධිපතිනිය බවටද පත් කලෝය. ඇයද තම දරුවන් ලන්ඩන් ඔක්ස්ෆඩ් යවා වෛද්‍යවරුන්  බවට පත් කරවා ඇයට වූ වරද නිවැරදි කරවා ගත්තාය. අඳින්න සාරියක් නැතිව සිටි ඇයව මහා ධනපතිනියක් බවට පත් කරවීය. එකල මහින්ද රාජපක්ෂ මහතාට ඇයගෙන් සිදුවූ අසාධාරණ නිවැරදි කරවීමට, මිනිස්සු 2005 දී අගමැති කරවා පසුව ජනාධිපති බවටද පත් කරවීය.
      මේ ආකාරයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාව 2005 දී අගමැති නොකරවා, මහින්ද කල අකටයුතුකම් නිවැරදි කරවීමට මිනිස්සු කෙලින්ම ඔහුව 2015 දී ජනාධිපති බවට පත් කරවීය.
               ඔවුන් සියළු දෙනාගේ ප්‍රශ්ණ විසඳිනි.  නමුත්  තවමත් රැකියා, නිවාස, ආර්ථික ප්‍රශ්ණ ආදී මහජනතාවගේ ප්‍රශ්ණ කිසිවක් විසඳී නැත. නමුත් ඔවුහු තවමත් දේශපාලකයින්ගේ ප්‍රශ්ණ විසදීමට බලය ලබා දෙමින් සිටිති. නැත්නම් 2009 සිට කලැයි කියවෙන දූෂණ හා අපරාධ වලට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුලට එරෙහිව ඇති නඩු වලින් ඔවුනට බරපතල සිර දඬුවම් ලැබීම වලක්වා ගත නොහැක. රාජපක්ෂ පුතුන්ට සැප විඳීමට අනේක බාධා සිදුවිය හැක!
        ඒ අතර ආර්. ප්‍රේමදාස මහතාට අකාලයේ මිය යාමට සිදුවූ නිසා ඔහුගේ පුතාට සාධාරණයක් ඉටු කරවීමට එක්සත් ජාතික පක්ෂය බලා සිටී!

Comments