පෙනහළු හා හෘදය ඒකකයක් ලෙස..

                 පෙනහළු වල කාර්‍යය ලේවල ඇති CO2 වායුව පිටතට ගැනීම හා ගර්ත වල දැනටමත් ඇති O2 වායුව රුධිර ගත කිරීමයි. මේ සඳහා යම් වාහක මාධ්‍යයක් අවශ්‍ය බව දැන් ඔබට වැටහෙනු ඇත. සියුම් කේෂ නාලිකා ජාලයක් මේ සඳහා පෙනහළු වල පිහිටා ඇත. විසරණ නියමයද මේ සඳහා ඉවහල් වේ. එනම් සාන්ද්‍රණය වැඩි තැනක සිට අඩු තැනකට වායු විසරණය වේ. පෙනහැල්ලට එන ලේ වල CO2 සාන්ද්‍රණය ඉහල අතර, O2 සාන්ද්‍රණය  පහලය. අනිත් අතට පෙනහළු වාතයේ CO2 සාන්ද්‍රණය පහල අතර O2 සාන්ද්‍රණය ඉහල බැවින් විසරණයෙන් මේ වායු දෙක හුවමාරු විය හැක. විශාල රුධිර පරිමාවක් කේෂ නාලිකා වලට බෙදී විශාල පෘෂ්ඨ වර්ග ඵලයක් සාදන බැවින් ක්‍රියාව කාර්‍යක්ෂම වේ. හෘදය  විනාඩියකට 72 වරක් ස්පන්ධනය වේයයිද, පෙනහළු විනාඩියකට 14 වරක්, අළුත් වාතයෙන් පිරේ යයිද උපකල්පනය කරමු. මෙවිට එක් හුස්මකින් 5 වරක් සිරුරේ ලේ පිරිසිදුවේ. මෙහි කාර්‍යක්ෂමතාව වැඩි කල හැක. අපට වේගයෙන් දිවීමට අවශ්‍ය නම්, මාංශ පේශි වේගයෙන් ක්‍රියාත්මක වීම සඳහා වැඩිපුර ග්ලූකෝස් හා ඔක්සිජන් අවශ්‍ය වේ. මේ සඳහා හෘද ස්පන්දනය වැඩි කරන අතර, හුස්ම ගැනීමේ වේගයද වැඩි කෙරේ. තවත් ඔක්සිජන් අවශ්‍ය නම් නාසය හරහා නොගොස් කටින් හුස්ම ගැනීමට සැලැස්වේ. (Reduction of anatomical dead space). මෙය හති දැමීම ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් සලකන්නේ ශෛල තුල මෙවිට නිර්වායු ශ්වසනයක් (O2 නොමැතිව) සිදුවී ලැක්ටික් අම්ලය නිපදවෙන බවයි. මේ නිසා මාංශ පේශි වල වේදනාවක් හෝ Spasm තත්වයක් ඇතිවේ. (කෙණ්ඩා පෙරලීම). මෙය හෘදයට හා වකුගඩු වලට අහිතකරය. මෙවිට මොළය අකර්මණ්‍ය වී සිහිසුන් විය හැක. රුධිරය ආම්ලික වීමෙන් සිරුරේ තවත් ප්‍රශ්ණ ඇතිවේ. මේ නිසා සිරුර සමතුලිතව පවත්වා ගැනීමට හෘදය හා පෙනහළු ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.

Comments