මංගල මාසේ බක් මාසේ!
මංගළ මාසේ බක් මාසේ!
අපේ රටේ සම්ප්‍රදායිකව, වැදගත් සිද්ධීන් සියල්ල ඉතා සැළසුම් සහගතව සිදු විය. පෙබරවාරි මාර්තු මාස වල අස්වැන්න කපා ගෙට ගත් පසු උත්සව සමය ආරම්භ විය. මෙය ගැමියන්ට නිවාඩු සමයයි. වෙනත් වදගත් වැඩ නොමැති කාලයයි. වසන්ත සමය ආරම්භ කෙරිණ. මගුල් තුලා, නව අවුරුදු උත්සවය අප්‍රේල් මස පැවැත්විණි. උවැසියෝ වට වන්දනාවේ ගියෝය. විවාපත් වූවන්ට බක් මහ අකුණු ගහන වට වැසි වසින අප්‍රේල් මස අග සැබවින්ම මධු සමයක් විය. මුලු පැය විසි හතරම ශෘංගාරය දනවන ලිංගික කටයුතු වලට යහපත් විය. අකුණු ගසද්දී සැමියාට තුරුළු වෙද්දී ලිංගික හැගීම් ආසක්ත විය. නොවැරදීම ගැබ් ගැනීම සිදුවිය.
ඉන්පසු වෛද්‍ය විද්‍යාත්මකව සිදුවන්නේ කළලයේ ඉන්ද්‍රියයන් සෑදීමයි. මේ සදහා එළඹෙන වෙසක් හා පොසොන් සමය කදිම සතුටු, සැනසිලිදායක හා භක්තිය දනවන සමයක් විය. කවුරුත් ආගමික කටයුතු වල යෙදුන බැවින් මුදු මොලොක් ගතිගුණ සහිත විය. මෙය සැමියාගෙන් හා පවුලේ අනෙකුත් අයගෙන් ආදරය කරුණාව යහමින් ලැබීමට උපකාරී විය. හොද කළලයක් ඇති වීමට හොද මානසික තත්වයක් මවට අතාවශ්‍ය වේ.
මැයි මස ගඩා ගෙඩි, පළතුරු වලින් ශාක පලබර විය. ගැබිණි මවගේ දොළදුක සංසිදවීමට ඇවැසි සියලු දෑ පහසුවෙන් සපිරුණි. මුල් ගැබිණි සමයේ පටක ඉහිල් වීම නිසා ඇතිවිය හැකි මුත්‍රා ආසාදන මේ ඇඹුල් පලතුරු නිසා වැලකිණි. හරියටම පරිසරය වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතා හදුනා ගත්තාක් මෙනි.
ගර්භණී සමය තුල ඇති වන සංකූලයකි තමන් සකස් කල කෑම සදහා වන අරුචිය. මෙයට විසදුම නැදෑ මිත්‍රාදීන් රැගෙන එන, තැවුනු කෙසෙල් කොලයේ එතූ බත් මුල. සමබල, සමබර කෑම වේලක් එයින් ගම්‍ය විය. ගැබිණි මවගේ පෝශණය සපිරිණ. නැත්නම් කෑම අරුචිය නිසා මව හා කළලය මන්ද පෝශණයට ලක් විය හැකිව තිබිණ. විශේෂයෙන් මුල් මාස නවය තුල කළලයේ මොලයෙන් 40% ක් වැඩුණු බැවින් මෙය බුද්ධියේ තීරණාත්මක අවදියක් වේ. මවට විශේෂ ආදරය කරුණාව, රැකවරණය කාගෙනුත් ලැබිණි.
දරුවා ලැබීම සදහා තම මවගේ ගමට යාම සාමාන්‍ය සිරිතයි. දරුවා ලැබීමට නියමිත ජනවාරි පෙබරවාරි සමය පහත රට සමශීතෝෂ්ණ සමයකි. නව ජන්ම දරුවාට ප්‍රශස්ථ පරිසරය එහි විය. කොහොමත් පොල් අතු සෙවිලි කල, බිමට ගොම මැටි ගෑ පාරම්පරික ගෘහය සිසිල් විය. මේ නිසා අවශ්‍ය උණුසුම හා සිසිල ලැබුනු අතර ශුෂ්ක පරිසරයේදී ඇති විය හැකි උෂ්ණ බිබිලි, සමේ පුස් රෝග යනාදිය ඉබේම වැලකිණි. මේ අනුව ගත් කල සැළසුම් කල මංගල සමය සැබවින්ම සෞඛ්‍ය සම්පන්න විය.
Comments
Post a Comment