සංසාර පුරුද්ද.

සසර පුරුද්ද.

        මා කුලියාපිටියේ රෝහලේ සේවයට වාර්තා කලපසු දුටුව දැවෙන ප්‍රශ්ණය වූයේ දඩාවතේ යන බල්ලන්‍ විය. කාර්‍ය මංඩලයේ කිහිප දෙනෙකුම මොවුන් විසින්  සපා කන ලදී. අවසානයේ ස්ට්‍රිච්නින් මස් කැබලි වල සගවා කන්නට දී බල්ලන්ව මරා දැමිණි. එය උග්‍ර විසක් නිසා පුද්ගලිකව  මෙය අධීක්ෂණය කිරීමට මට සිදුවිය.
          සියළුම බල්ලන් එකිනෙකා හා කාගනිමින් මස් කා මැරී වැටින. නමුත් එක් කලුපාට බල්ලෙකු මස් නොකා, මා ආපසු එනවිට මා සමග පැමිණියේය. මගේ බිරිදට බල්ලන් නොරුස්සන බැවින් ඌව එළවුවත්, නැවත ඇය ගෙට ගියපසු මා ලගට පැමිණ උගේ භාෂාවෙන් මාහා කතා කිරීමට විය. මට මොහුව හිතට ඇල්ලුවෙන්, දම්වැලක් ගෙන ඌ බැද, නහවා මැක්කන් කඩා ගරාජයේ බැද තැබුවෙමි. පසුවදා සිට උගේ රාජකාරිය වූයේ මා රෝහලට යනවිට මා කැටුව යාමත්, කාර්‍යාලයේ මා සිටිනා තාක් කල් එළියේ දොර ලගසිට මා මුර කිරීමත්, ආපසු නිළ නිවාසයට මාහා පැමිණීමත්‍ විය. රාත්‍රියේ මා වාට්ටු පරීක්ශා කිරීමට යාමේදීද මාහා පැමිණියේය. එවක JVP ත්‍රස්තවාදී සමය වූයෙන් මට උගෙන් හොද ආරක්ෂාවක් ලැබිණි.
         මා ස්ථාන මාරු ලැබ යනවිට බිරිදගේ සතුටට හේතු වූ කරුණ වූයේ බලු කරදරය අවසන් වීමයි. බඩු ලොරිය යවා අප මෝටර් රථයට නගින විට ඌ මා ලගට පැමිණ ආයාචනාත්මක බැල්මක් හෙලා කෙදිරි ගෑවේය. මට ඌ දමා යාමට සිත් නොවීය. රථයේ driving දොර හැරිය විට ඉතා සකසුරුවමට ඌ ඇතුලට රිංගා රථය පැදවීමටද අවහිර නොකර ගුලිවී සිටියේය. හලාවත රෝහලේදීද උගේ රාජකාරිය අකුරටම සිදුවිය. පසු කලෙක මහ පාරේදී රථයකට හසුවී ඌ මිය ගියද තාමත් මගේ මතකයෙන් උගේ මනුස්ස ගුන ගිලිහී නොයයි. මිනිසුනට වඩා එම සතා මොන තරම් ආදරණීයද විශ්වාස වන්තද? මා සසර පුරුදු එතරම් විශ්වාස නොකලද මෙය විස්තර කරන්නේ කවර අන්දමකටද?

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......