අනුවේදනය !
අනුවේදනය අපේ හිතේ ඇත්නම් විවර කල නොහැකි සිතක් මිහිපිට නොමැත. එය අපට අනුන්ව අවබෝධ කරදේ. අනේ අපේ ළමයින්ට අප ගැන "අනේ අපොයි" කියා නොසිතෙන්නේ මන්දැයි දෙමාපියන් ලත වේ. මා රෝගීන්ව අනුවේදනය කරන අතරම ඔවුන්ට අනෙකා අනුවේදනය කරවීමටද සලස්වයි. වරෙක මාවෙත ආවේ සැමියාගේ බීමත් කමට ප්‍රතිකාර ගැනීමට යුවලකි. ඔහු එදාද බීමත්ව පැමිණීම ගැන බිරිද උරණවී ඔහුට අඩන්තේට්ටම් කලාය. මා බිරිදව ඉවතට යැව්වේ උපායක් අනුගමනය කිරීමටය. "තමුසේ මොකද මෙච්චර බොන්නේ" මා ඇසීය. "ඇයි සර්ට තේරෙන්නේ නැද්ද මං බොන කාරනේ හවසට දෙකක් දාගෙන ආවානම් කරදරයක් නැහැ" ඔහුගේ පිලිතුරයි. " ඔව් මට තේරෙනවා තමුසෙට එයාගෙන් කරදරයි කියලා. මන් ඒක නවත්තලා දෙන්නද?" මගේ විසදුම ඔහු ඉත සිතින් පිලිගති. හැබැයි මං කියන ඒවා වැඩිය ගනං ගන්න එපා මම උපදෙස් දුනිමි. බිරිද කැදවා මා පැවසුවේ ඔහුගේ අක්මාව නරක්වී ඇති බැවින් ප්‍රතිකාර වලින් පලක් නැති බවයි. තව ටික කලක් ජීවිතය ගැට ගසා තැබීමට ගෙදර ගෙන ගොස් හොදින් උවටැන් කිරීම මැනවයි යෝජනා කලෙමි. ඇය ඔහුව බදාගෙන හඩන්නට වූයේ "අනේ රජෝ මං කිව්වා නේද ඔය ජහජරාව බොන්ට එපා කියලා. දැන් ඉතින් මක් කරන්නද, ඔයා ලමයි බලාගෙන ගෙදර ඉන්න. මන් වැඩට යන්නම්. "අනේ සර් අපේ ලමයි තාම පොඩියි. දරුවන්ට තාත්තා කෙනෙක් ඕනේ" කියමින් ඇය වැලපෙන්නට විය. ඔහුද ඇයව බදාගෙන වැලපුනේ නැවත නොබොන බවට ශපථ වෙමිනි. වෛද්‍ය පුනරුත්ථාපනයෙන් ඔහුව සුව කලෙමි. අඹු සැමියන් අතර වියයුතු මනා අනුවේදනය මොනවට මින් පැහැදිලි වේ.
Comments
Post a Comment