පොඩි කාලේ පොඩි අඩියක්!

පහ ශ්‍රේණිය වන තෙක් අප ගියේ ගමේ පාසලට දෙපයිනි. මේ යන ගමනේදී ගඩා ගෙඩි අහුලමින් එව්වා බෙදා ගෙන කමින් ආගිය ගමන් හරි මිහිරිය. දිනක් අප පාසැල් ඇරී එන ගමනේදී වන ලැහැබක ඉර එලියට දිලිසෙන කොලපාට යමක් දුටිමු. අපේ නඩේ ගුරාගේ මතය වූයේ නයෙක් නාග මානික්‍යක් වමාරන බවයි. පිරිමි ලමුන් පමණක් එතැනට ගොස් බැලූ විට දුටුවේ බෝතල් 28 ක ලොකු වීදුරු බූලියකි. මූඩිය ඇරිවිට කජු පුහුලන් සුවදක් දැනින. මෙය හොද බීමක් බව මොනවට පැහැදිලිය. ගෙදර ගොස් බත්කා ආපසු ඒමට ගිවිසාගෙන විසිර ගියෙමු. ගිය පරක්කුවෙන්  බත්කා, බීමට කෝප්ප, ශුද්ධ කල පොල්කටු රැගෙන අපි නැවත හමු වීමු. මට පැවරුනේ බූලිය ඇල කර බීම කෝප්ප වලට බෙදා දීමටයි. අප එවකට 3 ශ්‍රේණියේ සිටි කුඩාවුන් බැවින් බොහෝ බීම හැලී අපතේ ගියේය. මගේ වාරය පැමිණිවිට බීමට ගත් පානය වාෂ්පශීලී වූ බැවින් ඉස්මොලේ ගොස් අලි අකරතැබ්බයක් විය. කෙසේ හෝ ආපසු ගෙදර පැමිණ සුළු වේලාවකින් ගමේ ගැහැනු ටික දුවගෙන අපේ ගෙදරට ආවෝය. "අනේ බබාලගෙ අම්මේ අපේ  එවුන් බබා තව පොල්කට්ටක් කිය කියා අසිහියෙන් වගේ බිම පෙරලෙනවා, වමනෙත් දානවා, මොනවා වෙලාද දන්නෙ නැහැ. බබා නම් දන්නව ඇති" කියමින් අපේ අම්මාට කන්නලව් කලහ. මට බබා කිව්වේ පාසැලට කලිසම් කමිස ඇදි බැවිනි. අනෙක් අය ඇන්දේ කර නැති  බැනියන්. සරොම් හා ගැහැනු ලමයි චීත්තය, හැට්ටයයි. පන් වලින් වියූ මල්ලක පොත් ගල්ලෑලි ගල්කූර දමගෙන ආහ. මේ නිසා  මා හා ගවුම් ඇදි නංගී කැපී පෙනින. අම්මා සුපුරුදු පරිදි තඩි පොල්ලක් රැගෙන පොලිස් නිලධාරියෙකු මෙන් මාව පරීක්ශා  කිරීමට සැරසුනි. ගහන්න පෙර ඇත්ත කිව්වෙමි. කාටත් පැහැදිලි  වූයේ ගමේ සයිමාගේ හොරට පෙරූ  කසිප්පු ස්ප්‍රීතු බූලියක් අපේ ඇස ගැටී ඇති බවයි. ආපයින්ම ගැහැනු, කැඩුනු කොන්ඩා බදිමින් ආපසු ගෙවල් වලට දිව්වෝය. දෙහි ගා නාවා මගේ කණ්ඩායම නැවත ප්‍රකෘති තත්වයට ගත් බව පසුව ආරංචිවිය. අම්මා තීරනය කලේ ඇගේ දඩුවම් මේ සදහා ප්‍රමාණවත් නොවන බවයි. රෑට තාත්තා ආපසු මට දඩුවම්  නියම කරන බව පැවසූයෙන් මගේ ඉහමොල රත් විය. එදා කලින්ම රෑට බත්කා නිදාගත් බව අගවමින් ඇදටවී තත්වය සමාලෝචනය කරමින් පසු වූයෙමි. තාත්තා පැමිණ කෑම කෑ විගස මගේ නඩුව ඉහළ උසාවියට ඉදිරිපත් කෙරිණි. පුදුමයට මෙන් ඔහු මට දඩුවම් නොකලේය. මම සතුටෙන් නිදා ගතිමි. ඒත් ඒ සතුට පැවතියේ පසුවදා කඩේට යන තෙක් පමණි. බබා තව පොල් කට්ටක් කියමින් කඩේ කොලුරැල පොල්කටු රැගෙන මා පසුපස ආහ.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......