විද්‍යුත් මෙවලම් තැනීම

මා පාසැල් යන අවදියේ විද්‍යුතය ගැන පුදුම උනන්දුවක්  දැක්වීය. එකළ අපේ ගමට විදුලි බලය ලැබී නොතිබුනි. පරණ බෙරෙක් සංයුක්ත වියලි කෝෂයෙන් පණ ගැන්වුන වැල්ව් රේඩියෝවලට  සවන් දුන් කල, වයස අවුරුදු 4 ක් වූ මගේ එකම සතුට වූයේ බැටරිය අක්‍රිය වූ කල එහි වියලි කෝශ මා සතු කර ගැනීමයි. පුන්චි ටෝර්ච් බල්බයක් වයර් කෑල්ලකින් අමුනා ගෙන මා රෑට අදුරු කාමර පුරා ආලෝකය දෙමින් සතුටු වීමි. මා පාසැල් ගියේ අවුරුදු  හතරෙනි.
        හයේ පන්තියේදී විද්‍යාව උගැන්මට යොමුවූ කල මගේ එකම සිහිනය වූයේ විදුලි සීනුවක් නිපදවීමයි. පරාල ඇණයක් කම්මලෙන් U හැඩයට නවාගෙන පරණ කොයිල් කම්බි ඔතා බොහොම අසීරුවෙන් සීනුව හදාගෙන බැටරි කෑලි වලින් බලය ලබාදී එය නාද කලෙමි. මගේ පියා මේවා දැක සතුටින් ඒ දිහා බලා හිදිනු මට මතකයි. මේ ආකාරයෙන් 9 ශ්‍රේණියේදී ද්විත්ව දගරයෙන් ප්‍රතාවර්ත ධාරා නිපදවා හොර රහසේ පාසැලේ කම්බි වැටට විදුලිය කවා, ලොකු ලමයි වැට පැන පාසැල් විවේකයේදී සිගරට් බීමට යාම නැවැත්වීමු. ලොකු අයියලාට එය හසුවී නම් හොද පෝරියල් එකක් වදිනු ඇත.
10 ශ්‍රේණියේදී මිතුරන්ගේ නිවාස අතර Intercom දුරකතන ජාලයක් නිපදවූයේ අපි කීප දෙනෙක් සම්බන්ධ වීමෙනි. මේවා එකල මගේ පියාට මැජික් මෙන් විය.
        නමුත් මගේ පුතාට 8 වසරේදී නව නිපැයුමක් කිරීමට නියම කලවිට ඔහුට ඒගැන යමක් සිතීමට නොහැකිව හඩා වැටින. අන්තිමේදී මගේ සුරතල් මසුන් සිටින ටැන්කියෙන් ඉවත් කල වායු පොම්පයක් ක්‍රියා කරන හැටි පෙන්වා ඔහුට නව අදහසක් ලබාදී අමාරුවෙන් ඔහු ලවා විදුලි සීනුවක් නිපදවීමට හැකිවුනි. එයට විශාල ලකුණක් ලැබී නිහතමානිව ඔහු ආඩම්බර වෙනු දුටිමි.
         අවාසනාවකට මෙන් දැන් දරුවන්ට දෙන පැවරුම් කර දෙන්නේ දෙමාපියන්‍ වේ. මෙයින් ඔවුනගේ නිර්මාණශීලිත්වය  දියුණුු වුවද දරුවන්ගේ නම් එම හැකියාව තවත් මොට වෙනු ඇත. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී! අනේ අපේ අනාගත තරුණ පරපුරට නූතන දෙවියන්ගේ පිහිටයි. සරුංගලයද මුදලට ගෙනයි ඔවුන්ට මේ මාසයේ සරුංගල් ඇරීමට සිදුවී ඇත්තේ. අපි එකල නෙකනූතනත්වය  විසිතුරු සරුංගල් අපිම නිපදවා උඩ යවා සතුටු වීමු!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......