Sharing.

බෙදා හදා ගැණීම (Sharing) ජීවිතයට උපකාරී වන්නේ කෙසේද? සමගිය බලයවේ යයි කීමක් ඇත. සමගියට පාර කපන්නේ බෙදා ගැනීමයි. පරිත්‍යාගශීලී නොවී, අත් නොහැර බෙදා හදා ගැනීමට නොහැක. අත්හැරීම ධ්‍යානයකි.
       මා වරක් බැංකොක් නුවර චායෝප්‍රයා ගගේ පාලම උඩ සිට අපූරු දසුනක් දැක්කෙමි. එහි බෝට්ටු සේවයේ බෝට්ටු, ගගේ එක් ඉවුරක තොටුපලක සිට ගග හරහා ගොස් අනිත් ඉවුරේ තොටුපලට ගොස් මගීන් බැස්සවීය. මේ බෝට්ටුව ගග මැදින් යාත්‍රා කලානම් කිසිම මගියෙකුට සේවයක් නොවේ. නමුත් ගමන පහසුය. ජීවිතයත් මෙවැනිම නොවේදැයි මට සිතුනි. අප බෙදාහදාගෙන ගෙවන ජීවිතය කෙතරම් ලස්සනද? සැමියා හා බිරිද අතර, මව්පියන් හා දරුවන් අතර, සේව්‍යයා හා සේවකයින් අතර බෙදා හදා ගැනීම එම සංස්ථා වල දියුණුවට හා සමගියට මග පාදයි. ආඩි හත් දෙනාගේ කැද හැලියේ කතාව සමගියේ බලය කියයි. අපි යමක කොටස් කාරයෝ වීම එහි සාර්ථක භාවයට මග පාදයි. නමුත් මිනිසුන්ගේ ආත්මාර්ථකාරී බව පරිහානියට හේතුවේ. දැන් පවුලක සිටින්නේ පිරිමි හා ගැහැණු දරුවන් එකා බැගිනි. ඔවුන් තනියෙන්ම හැදෙන බැවින් බෙදාහදා ගැනීමට පුරුදු පුහුණු වී නැත. මෙවැන්නන් විවාහ වූ පසු ඇතිවන තත්වය ගැන සිතා ගැනීමටවත් නොහැක. මන්ද යත් විවාහ සංස්ථාව මුලුමණින්ම බෙදාහදා ගැනීමකි. එවැනි දේකට නුහුරු දෙදෙනෙකුට සමගියෙන් විසිය හැකිද? එළ හරකා, මීහරකා සමග ඈදා කුඹුර සීසෑමට යැව්වා මෙනි. එළ හරකා ගොඩට අදින අතර මීහරකා මඩට අදී, සීසෑමක් සිදු නොවේ. එවැන්නන්ගේ පවුල් ජීවිතයද එවැනිය.
       අත් හැරීමද ජීවිතයට මහෝපකාරී වේ. මන්ද යත් අත් නොහැර, අපට පරිත්‍යාගශීලී  විය නොහැක.  සමහර උපාසකයින් හාමුදුරුවන්ට පිරිකර ලෙස පුදන කිරිපිටි පැකට් එක පවා පුදන්නේ එය විවුර්ත කරමිනි. මන්ද එය අනිවාර්‍යයෙන්  භාවිතා කිරීමටම සිදුවන බැවිනි. නමුත් ගුරු හාමුදුරුවරු, තම ගෝලනමට විශ්ව විද්‍යාලයට යාමට අත් මුදල් පවා සොයා දෙන්නේ එම කිරිපිටි පැකට් එක යාබද කඩේට විකිණීමෙනි. සිතින් අත් නොහැර දෙන දානයේ කුමන ආනිශංසයක්ද? සාංඝික දානයට පිදීමට මිළදී ගන්නා අටපිරිකරේ මිළ අඩු කල හැකිදැයි කඩෙන් අසයි. එතැන අත් හැරීමක් ඇත්ද? දානයට උදවු නොකල අය පැමිණ, කාබී කෑම පාර්සල් හදාගෙන ගියායයි කෝප වෙති, විස්සෝප වෙති.
           අත් හැරීම හා බෙදාහදා ගැනීම, ආදරයෙහි මනරම් විචිත්‍ර චිත්‍රයක් මවයි. ආත්මාර්ථකාමී අයෙකු තම ලිංගික ජීවිතයේදී, සහකාරියගෙන් තනිවම සතුටු වන අතර, sharing පුරුදු පුහුණු කල අයෙකු, ඒ සතුට තම සහකාරිය සමග බෙදා ගනී. එවිට ඇයද ඔහු සමග සතුටු වේ. ලිංගික ප්‍රශ්න සාකච්චා කිරීමට අප හමුවන කාන්තාවන් කියන්නේ ලිංගික ජීවිතයේ "මෙලෝ රහක් නොමැති" බවයි. මෙය කොතරම් අවාසනාවන්තද ? එතැනද ගම්‍ය වන්නේ බෙදාහදා නොගැනීමේ දුර්විපාකයයි. සමහරවිට මෙය දික්කසාදයෙන් කෙළවර වීමට පවා හේතුවේ.

https://youtu.be/ZWR0jufJacA

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......