හලාවත රස කතා 3
හලාවත රස කතා
මේබල් හාමි උපස්ථායක වරියකි. ඇය ඉතාම සතුටින්, විහිලුවෙන් සේවය කරන කතකි. මා කාර්‍යාලයට යන මග ඇය සේවය කලාය. උදේට මා දුටු ගමන්ම, good morning sir කියා මට සුභ පතා " ආව්, ආව් සර්ගෙ ලස්සණ.... කියා විහිලුවක්ද කරයි. නමුත් මා නොදැනුවත්ව රෝහල් ඕවර්සියර් වරයා හා ඇය අතර යම් විරසකයක් තිබී ඇත. ඔහු හදිසියේ මට වාර්තා කලේ ඇය නොදන්වා දින 5 ක් සේවයට වාර්තා නොකල බවයි. ඇය හලාවත රෝහලට ආසන්නයේ වසන බැවින් වහාම සේවයට වාර්තා කරන මෙන් ලිඛිතව ඇයට දැන්වීමි. එනමුත් ඇය සේවයට වාර්තා කලේ නැත. මේ නිසා ඇයට, සේවය කැමැත්තෙන් අත් හැර ගිය බව පිළිගත් බවට ලිපියක් ලියාපදිංචි තැපෑලෙන්ද යැවීමි. මේ අතර වාර්තා වූයේ ඇයගේ සැමියා හදිසියේම මියගිය බවයි. මේ නිසා අප කාර්‍ය මංඩලය සමගින් මමද අවමඟුල් ගෙදරට ගියෙමු.
අප එන බව දුටු ඇය අප ඉදිරියට දුව ආවාය. එය දුප්පත් බව මොනවට පෙන්වන නිවසකි. "අනේ ලොකු මහත්තයෝ මට වෙච්ච දේ" කියමින් හලාවත ක්‍රමයට හඬමින් ඇය අපත් සමග ගෘහය දෙසට අපත් කැටුව ගියාය. මම ඇයව අස් වසමින් ගියෙමි. මෘත දේහය තිබෙන තැනට ගිය ගමන් ඇයගේ විලාපය වෙනස් විය. " අනේ!!! මගේ රජෝ නැගිටපන්, මේන් ලොකු මහත්තයත් ඇවිත්!! උඹව බලන්න, මගේ රස්සාවත් නැති කරලලු!! අනේ ලොකු මහත්තයාට කියාපාන්, උඹව බලා ගන්නයි මන් වැඩට නොගිහින් ගෙදර නැවතුනේ කියලා" යනුවෙන් රැකියාව පිළිබඳ අභියාචනය වාචිකවම ඇය ඉදිරිපත් කලාය. එම ලිපිය නොසලකා හැර, මේ කටයුතු අවසන් වූ පසු සේවයට පැමිණෙන මෙන් ඇයව අස් වසා අපි ආපසු ආවත්, අවට සිටි වැල්ලේ පිරිස අප දිහා බැලූ බැල්ම එතරම් හිතකර නොවන බව දැණුනි.
Comments
Post a Comment