Adverse effects of alcohol
මධ්‍යසාර වල අවගුණ
බොහෝ දෙනා අතර මධ්‍යසාර ගැන ඇත්තේ වැරදි ආකල්ප වේ. මෙම ගණයේ මධ්‍යසාර වර්ග බොහෝ ඇති අතර ඒවායේ ඇති කාබන් අණු ගණන අනුව නම්වේ. සරලම මධ්‍යසාරය මීතයිල් ඇල්කොහොල් වේ. මෙය ශරීරයේදී අක්මාව විසින්, ෆෝමැල්ඩිහයිඩ් බවට පත් කෙරේ. මෙනමින් කිසිවෙකු එය නොදන්නා මුත් ෆෝමලින් ලෙස එය කවුරුත් දන්නේ මළමිණී එම්බාම් කරන්නේ එයින් නිසාය. මේ නිසා මීතයිල් ඇල්කොහොල් මාරාන්තික වන අතර, ඉන් ඇස් අන්ධවීමද සිදුවේ. ගමේ ගොඩේ පෙරන කසිප්පු වල ප්‍රමිතියක් නොමැති නිසා, ගෝඩා වඩිය රත් කරන විට මුලින්ම එන "යකාගේ පංගුව" ඊතයිල් ඇල්කොහොල් වලට මුසු වුවහොත්, කසිප්පුද මාරාන්තික විසක් විය හැක.
දැන් අපි ඊතයිල් ඇල්කොහොල් ගැන විමසමු. එය ලේවල සාන්ද්‍රණය මි. ලී. 100 ට මධ්‍යසාර මි. ග්‍රෑම් 50 දක්වා හොඳ උත්ප්‍රේරකයකි. ආතතිය අඩු කරයි. හිතේ සතුට වඩවයි. (Euphoria) නමුත් එතැන් සිට සාන්ද්‍රණය ඉහලට යනවිට සිදු කරන්නේම හානියකි. මෙහිදී මාත්‍රාව වන්නේ අරක්කු නම් මි. ලී. 50 කි, සැර අඩු බියර් නම් මි. ලී. 250 කි, සැර වැඩි බියර් නම් මි. ලී. 125 කි. වයින් නම් මි. ලී. 100 කි. මින් නැවතීමට හැකි පුද්ගලයා ජගතෙකි. නමුත් සිදුවන්නේ ඔහු මධ්‍යසාර උගුලක හසුවීමයි. ඉහත ප්‍රමාණ වලින් ගත්විට සතුටක් ලැබෙන හෙයින්, තව ගතහොත් එම සතුට වැඩිවනු ඇතැයි මිනිසුන් මුලාවක වැටේ. මේ නිසා දෙවන වඩියත් ගැනීමට පෙළඹේ. එහිදී සතුට අඩුවේ, ආත්ම විශ්වාසය වැඩියයි ව්‍යාජ හැඟීමක් ඇතිවේ. ස්ථායිතාව අඩුවේ. ඊලඟ වඩියත් සමග හැඟුම්බර වේ. පරණ කෝන්තර මතක් වී කලහයට පෙළඹේ. සිරුර අසමතුලිත වේ. මාංශ පේශිවල ආතතිය, ශක්තිය අඩුවේ. ඊලඟ වඩියත් සමග, මැද කණ හා මොළය ආශ්‍රිත සිරුරේ සමතුලිත බව නැතිවී බිම වැටේ. මේ වනවිට ලේවල සාන්ද්‍රණය මි. ග්‍රෑම් 200 ඉක්මවා ඇත. එය මි. ග්‍රෑම් 300 ඉක්මවද්දී සිහි නැතිවී පසුව මියයයි. මේ මරණ අරක්කු නිෂ්පාදකයාට මරු පහරක් වන්නේ, තම ගණුදෙනුකරුවන් එකිනෙකා අඩු වන බැවිනි. මේ නිසා ඔහු තවත් උපායක් යොදා එම මරණ වලක්වයි. එනම් මි. ග්‍රෑම් 275 පමණ වනවිට වමනය ඇති කරවන රසායනිකයක් එයට ඇතුළු කරවීමයි. මෙහි සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩිවී, මොළයේ Vomiting centre උද්දීපනය කර වමනය ඇතිකර වැඩිපුර අරක්කු සිරුරෙන් ඉවත් කරවයි. නමුත් මොළයට, වකුගඩු වලට, අග්න්‍යාශයට වන හානිය එලෙසම සිදුවෙයි. නැවත යථා තත්වයට පත් කල නොහැකි භයානකම හානිය සිදුවන්නේ අක්මාවටයි.එම ශෛල දිවිපුදා මධ්‍යසාර අණු කඩා බිඳ දමයි. මෙහිදී අක්මාවෙන් 90%ක් විනාශ වන තුරු ඇඟට දැනෙන හානියක් පුද්ගලයාට නොදැනේ. අරක්කු වලින් ඔය කියන තරම් හානියක් නොවේයයි ඔහු අවංකවම විශ්වාස කරයි. මිනිසුන්ගේ මෝඩ කමත් එයම වේ. මන්ද යත් ඊට පෙර රෝගී වීනම් වෛද්‍ය උපදෙස් අනුව යම් සීමා කිරීමක් කල හැකි වන බැවිනි. අක්මාවෙන් 90% කට වඩා විනාශ වූවන්ට සිරෝසිස් නමැති තත්වය ඇති වී ලේ වමනය කල පසු පමණි නැවත ඔවුන් ජීවිතය යදින්නේ! එවිට ප්‍රමාද වැඩිය. මේ වනවිට ඔහුගේ ප්‍රාථමික නිෂ්පාදන හැකියාව නැතිවී, වස්තු හානි සිදුවී, අඬදබර ඇතිවී පවුලම අයසට වැටී අවසන් වී ඇත. පවුලේ අසමගිය වැඩී, දරුවන්ගේ චිත්ත ශක්තිය (morale) පිරිහී අවසන් වේ. බිරිඳ සමහරවිට දික්කසාදයට මුල පුරා ඇත.
ගමේ කසිප්පු වලට වමනය ඇති කරවන සංයෝග දමා නැති නිසා අවශ්‍ය නම් කෙනෙකුට එක දවසින්ම ඒවා බී මිය යාහැක.
සතියකට දින 5ක් අවම හානිය යටතේ කෙනෙකුට අවශ්‍ය නම් මාත්‍රාව නොඉක්මවා මධ්‍යසාර ගත හැක. නමුත් සමහරු සති ගනන් නොබී හිඳ එක දිගට උදේ දවල්, රෑ බීමට පටන් ගනී. මෙය Binge drinking ලෙස හැඳින් වේ. මේ ක්‍රමයද ඉතා හානිකර වන්නේ, ඉන් අක්මාවට, මොළයට, අග්න්‍යාසයට එක දිගට, නැවත ප්‍රකෘතියට පත් කල නොහැකි හානි සිදුවන නිසාය. බොහෝ විට මොවුන්ට එම ඉංද්‍රිය වල පිළිකා ඇතිවේ. දියවැඩියාව හා සිරෝසිස් ඇතිවේ. මොළය දියවී pre senile dementia වැළඳේ. ඔවුහු නිර්වස්ත්‍රව පාරවල් දිගේ ඇවිද යති. ඇඟේම මළපහ කර ගනිති. ඔවුන්ගේ ආයුෂ ඉතා කෙටිවේ. නියම ආයුෂයට වඩා ජීව විද්‍යාත්මක වයස ඉතා වැඩි නිසා අකාලයේම මියයති.
හිරු පායනවාත් සමග අපේ මොළයේ නිපදවෙන එන්ඩෝපින් සංයෝගය නිසාය, අපේ ප්‍රබෝධය ඇතිවන්නේ. හැරත්, අපි කන පාන්, පැණි, ආප්ප, පෙඟවීමට දැමූ මුංඇට කඩල, පසෙක තැබූ තැඹිලි, කුරුම්බා බීම වැනි ආහාර වලද, යම් මධ්‍යසාර ප්‍රමාණයක් අඩංගුවේ. මේවායින්ද අපට ප්‍රබෝධය ඇති කෙරේ. මේ නිසා අවංකවම කිවහොත් අපට පිටතින් මධ්‍යසාර ගැනීමට අවශ්‍ය නොවේ. මෙසේ පිටතින් ගැනීමේදී, මොළයේ නිපදවෙන එන්ඩෝපින් ශ්‍රාවය නවතී. එය නොමැතිව අපට ජීවිතය උගහට වන නිසා, දිගටම මධ්‍යසාර පිටතින් ගැනීමට සිදුවේ. එනම් මධ්‍යසාර, කෘතීම එන්ඩෝපින් සංයෝගයක් ලෙස ක්‍රියා කරයි. මධ්‍යසාර නිසා මොළයේ වැදගත් ස්ථාන මිය යන හෙයින්, ඉතිරි ශෛල උද්දීපනය කිරීමට දිනෙන් දින මධ්‍යසාර වල මාත්‍රාව වැඩි කිරීමට සිදුවන බැවින්, මොළය මියයාම වේගවත්වේ. මේ සංසිද්ධිය ඇබ්බැහි වීම (Addiction) ලෙස හැඳින්වේ. මධ්‍යසාර ලේවල නොමැතිවිට, ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය අඩපණ වේ. ඇඟිලි වෙව්ලයි, කඳුලු, හොටු ගලයි, වමනය කරයි. හර්දය වේගයෙන් ගැහේ. කොටින්ම උදේට ඇඳෙන් බැසීමට පවා නොහැකිවේ. මේ නිසා ඇඳ යටම අරක්කු බෝතලය තබාගෙන උදේම පානය කිරීමට සිදුවේ. මේ තත්වයට පත් වූවෙකු, මහපාරේ අනතුරකින් තුවාල ලබා වැටී සිටින අසරණයෙකු වැනිය. අප ඔහුට අනුකම්පා කර පුනරුත්ථාපනය කල යුතුය. සැබවින්ම පවුලේ සහයෝගය මොවුන්ට ලැබුනොත් ප්‍රතිකාර ලබාදී ජීවිතය බේරා දිය හැක.
අරක්කු බීමෙන් පසු, පසුවදාට දැනෙන සංකූල (Hang over effects) වලට හේතුව, අක්මාවේ පරිවෘත්තීය ක්‍රියා වලින් පසු ඇතිවන ඇල්ඩිහයිඩ වල බලපෑමය. අප මතක තබා ගත යුත්තේ මෙය ෆෝමලින් වලට වඩා විෂ අඩුවන්නේ ස්වල්පයකින් බවයි. මේ නිසා අධිමාත්‍රා වලින් මධ්‍යසාර ගැනීම ඉතා හානිකර වේ. වෙරි වීමෙන් පසු වාහන ධාවනය ඉතා හානිකරය. සියළු තීරණ ගැනීම නොවරදවා ප්‍රමාද වන බැවින්, අනතුරු වලක්වා ගැනීමට හා නියමිත සීමාවේ තිරිංග යෙදවීමට නොහැකිවේ. තමා සිටින්නේ මොන ඉසව්වේද යන්න අවිනිශ්චිත බැවින් (position sense & streognosis) සරල රේඛාවක වාහනය පැදවීමට නොහැකිව zig zag යාමෙන්ද අනතුරු සිදුකර ගනී. මෙහිදී රථය උඩුකුරුව පෙරලීම වැනි මාරාන්තික අනතුරුද සිදුවේ. මොවුන් ආවේගශීලි බැවින් මහමග කළහ කර ගනී. හිතා මතා අනිත් වාහන හප්පයි. මෙනිසා රජය ඒ සඳහා දඩය රුපියල් 25000 ට නංවා ඇත.
ඔබ මධ්‍යසාර වල වහලෙක් වීමෙන් වළකින්න. අපට සියල්ල ලැබී ඇත්තේ ඒවා අපේ වහළුන් කරගෙන වැඩ ගැනීමටය. මේ රූප සටහනෙන්ද කියැවෙන්නේ පමණ ඉක්මවා රහමෙර ගැනීම ගැනයි. දැන් ඔබ ඉන් වන හානිය දනී!
Comments
Post a Comment