සමානාත්මතාව .
ජීවිතයේ සමහර විට දැඩි තීරන ගැනීමට සිදුවේ. මා පුත්තලමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස සේවය කරද්දී, පුත්තලම රෝහලේ දිසා වෛද්‍ය නිලධාරියාව මරා දැමිණි. මේ ගැන පරීක්ෂණ කල පොලිසිය කම්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තැබීම නිසා, මට ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට සිදුවිය. පසුකලෙක ඔවුන් ඇප පිට නිදහස් වූ අතර, එක් අයෙකු පුත්තලම පොලේ කරවල වෙළඳාමේ යෙදිණි. මා එහි ගියවිට ඔහුට යම් අනුග්‍රහයක් දැක්වීමේ අරමුණින් ඔහුගෙන් කරවල මිලදී ගතිමි.
මා පසෙකට කැඳවූ ඔහු කීවේ "මම සර්ව මරන්න දවස් 3ක් ඔපිස් එකට ආවා" කියාය. ඒ ගැන විමසීමේදී ඔහු කීවේ අපූරු කථාවකි. "ලමයි බඩගිනි කියල අඬනකොට, මට වාවන්නේ නැතිව ගියා. අතේ සතේ නැති ජීවිතේ මහා කාළකන්නි කමක් සර්! මගේ රස්සාව නැති කලේ සර් නිසා මට සර්ව මරන්න හිතුනා. කිනිස්සක් අරන් ඇවිත් බංකුවේ වාඩි වෙලා හිටියා සර් එනකම්. ආයේ මතක් උනා සර් කාටත් එකයි, දොස්තරලාටත්, නර්සස්ලටත්, අපිටත් එකයි! කාටවත් වාසියට අනිත් අයට කපන්නේ නැහැ. ඉතින් සර්ව මැරුවානම් අපේ මිනිසුන්ට හොඳ පාලකයෙක් නැති වෙනවා.ඉතින් මං ආපහු හැරිලා ගියා. ආයේ ගෙදර ගිහින් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට ආයේ ආයේ එහෙම හිතුනා! ඒත් සර්ගේ ඔපිස් එකට ආවාම, ආයෙ ඒ හිත නැති උනා!" ඔහු අවංකවම කීවේය.
මා ඔහුට පහදා දුන්නේ මා අනුගමණය කලේ සතර සංග්‍රහ වස්තු වල කියවෙන දානය, ප්‍රිය වචනය, අත්ත චර්‍යාව හා සමානාත්මතාව යන හතරෙන් අන්තිම එක බවයි. "ධම්මෝ හවේ රඛ්ඛති ධම්ම චාරි" යන්නෙන් කියවෙන්නේ ධර්මයේ යෙදෙන අයව ධර්මය විසින්ම රකින බවයි. සමානාත්මතාව ඉතා උසස් ගුන ධර්මයකි. වරෙක මගේ බිරිඳ ගැන පැමිණි අහිංසක කරුණක් ගැන වූ පෙත්සමක් ගැන මා ඇයගෙන් නිදහසට කරුණු විමසා යැවීය. එම ලිපිය යැවීමට පෙර කීප වරක් ලිපිකරු මහතා මගෙන් විමසුවේ එය යවන්නට අවශ්‍යමද යන්නයි. මා කීවේ එය යැවීම අත්‍යාවශ්‍ය බවයි. එයම මා විසින් සමානාත්මතාව රැකි බවට යම් ඉංගියකි. ඉතින් ධර්මය විසින් මා රැකගෙන ඇත.!
Comments
Post a Comment