ලිංග විපර්යාස
ලිංගික විපර්යාස වූවෙකුගේ මානසික අරගලය.
මේ ගැන අප සිතා ඇත්දැයි සැකයි. ඔවුන් ඉතා බිහිසුනු අභ්‍යන්තර මානසික ඝට්ටනයකට මුහුනදේ. සමාජයෙන් එල්ල වන අපවාද, විවාහක නම්, තම කුටුම්භයෙන් එල්ලවන පීඩනය, ජීවන සටන සඳහා රැකියාවක් කලයුතු බැවින්, එහිදී ඇතිවන කොන් කිරීම් යනාදිය ගැන අප සලකා බැලිය යුතුය.
මගේ කණ්ඩායමට පහළ කණ්ඩායමේ සියුමැලි තරුණයෙක් විය. ඔහු ඉහල පවුලක අයෙකු විය. නමුත් ඔහුව මට නැවත දක්නට ලැබුනේ බදුල්ල මහ රෝහලේදී කාන්තා අක්ෂි ශල්‍ය වෛද්‍යවරියක ලෙසයි. අවශ්‍ය සැත්කම් එංගලන්තයේදී කර ගැනීමෙන් අනතුරුවයි ඇය ලංකාවට පැමිණ තිබුනේ.
මෙවැනි වත්කම් හා පහසුකම් අප සමාජයේ බොහෝ අයට නැත. මේ නිසා ඔවුනගේ මනසට වද දෙන බාහිර ස්වරූපය වෙනස් කර ගැනීමට සිදුවන්නේ හුදු ඇඳුමකින් හා ආයිත්තම් වලින් පමණකි. මෙය සමහරුන්ට විහිලුවකි. මේ නිසා ඔවුන්ව ගර්හාවට ලක්වේ. මේ අතර සිටින සමහරුන්ට අවශ්‍ය වන්නේ විරුද්ධ ලිංගිකයින්ගේ ඇඳුම් ඇඳීමට පමණි. ඔවුන් ලිංග විපර්යාසයට ගොදුරු වූවන් නොවේ. ඉස්සර අපේ ගමේ පොලිස් සාජන් වරයෙකු සාරියෙන් සැරසී රාජකාරියට යනු දැකීම අපට හාස්‍යයට කරුණක් විය. ඔහු ලඟ ඊට අපූරු පිළිතුරක් විය. "අපේ ගෑනි ලඟ සාරි 100 ක් විතර තියෙනවා ඕයි, අඳින්නෙත් නැහැ. ඒ නිසා මන් මේ ඇඳගෙන යනවා" කියමින් යන්තම් දවටා ගත් සාරිය සුළඟේ පාකර හරිමින් ඔහු සයිකලය පැදගෙන අප පසුකර ගියේය.
සමහර මව්පියන් තමන්ට පිරිමි දරුවන් නැතිවිට ගැහැනු දරුවෙකුට පිරිමි ඇඳුම් ඇඳීමට උනන්දු කරන නමුත් එය එතරම් නුවණට හුරු කරුණක් නම් නොවේ. කුඩා කල සිට එසේ කලවිට තමාගේ නියම ලිංගය ගැන ඇයට අවිශ්වාසයක් ඇතිවිය හැක. තම සිතුම් පැතුම් වල අභ්‍යන්තර ගැටුමක් ඇතිවිය හැක. පාසලේදී තමා සිටිය යුත්තේ කුමන කණ්ඩායමක් සමගද යන්න ගැන කුකුසක් ඇතිවිය හැක. "කොල්ලෙකු මෙන් හැදෙන කෙල්ලක්" වැනි අදහසක් අසල්වැසියන් අතර ඇතිවීමෙන් ඇයගේ පවුරුෂයටද හානි පැමිණේ.
මානසිකව ඇතිවන ලිංග විපර්‍යාශයකට අවශ්‍ය ශාරිරික වෙනස්කම් ඇතිකර ගැනීමට ලංකාවේ රෝහල් වල පහසුකම් සලසාවිදැයි සැක සහිතය. ඒ අයගේ පවුල් වලින් කොපමණ බලපෑම් එල්ල වේදැයි සිතීමටවත් නොහැක. මේ නිසා ඔවුන් අසරණවේ. ඔවුන්ට අවශ්‍ය ලිංගිකයා සමග විවාහ වීමට සමාජය ඉඩ දෙයිද. පසුගිය සමයේ යුද්ධ හමුදාව තුල පිරිමි සොල්දාදුවන් අතර සිටි පිරිමි වෙස්ගත් තරුණියන් හමුවිය. මෙහි අනිත් පැත්තද සිදුවිය හැක. මාතර පැත්තේ තරුණියක් පිරිමියෙකු මෙන් සැරසී විවාහයක්ද කරගෙන තිබුණි. ඔවුන් අතර ලිංගික ක්‍රියා සිදුවීම උපායශීලි ලෙස වලකාගෙන තිබුණි. මේ සෑම අවස්තාවකම අප තේරුම් ගත යුත්තේ මනසෙන් තමුන් කැමති ලිංගයේ ජීවත් වීමට ඔවුන් තුල ඇති තදබල ආශාවයි. ඔවුන්ගේ බාහිර පෙනුම ඊට හරස්වේ. මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි.
Comments
Post a Comment