ඉස්කෝලේ නිවාඩු!
1971 සමය අපට බෙහෙවින්ම රසවත් කාලයක් විය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල් නිවාඩු ලැබුන අතර, මුළු දවසම සෙල්ලම් පිටියේ මිතුරන් සමග ගතවිය. වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ, වැනි සෙල්ලම්ද මැරතන් දිවිලිද සුලභ විය. හැති වැටුනු විට කපා දමා තිබූ ගහක කඳක් මත හිඳ නොයෙක් විකාර වැඩ කලෙමු.
මේජර් මල්ලිකා තම කණ්ඩායම සමග සිංහරාජ අඩවියට පසු බැස ගියාය. මේ කථාව රඟ දැක්වීමට අයෙකුට අවශ්‍ය විය. නෝංජල් පහේ කොල්ලෙකුට කුරුම්බා ඇට්ටියක් දී කඳ දිගේ සෙමින් තල්ලු කරගෙන ඒමට නියම කලේ ඔහු යුද්ධ හමුදාව නියෝජනය කලයුතු බව දන්වමිනි.
දැන් අපේ මිත්‍රයා JVP මේජර් මල්ලිකාගේ කථාව කියයි. ඇය එක් සහෝදරයෙකුට නියම කරන්නේ ඇල්පිටිය පැත්තෙන් හමුදාව එන්නේදැයි පරීක්ෂා කර කියන මෙනි.ඔහු පැමිණ බලා හමුදාව නොපැමිණෙන බව දන්වයි. නමුත් මේජර් මල්ලිකා සෑහීමට පත් නොවෙයි. ඒ සඳහා තවත් අයෙකු යොදවයි. ඔහුද ඇල්පිටිය පැත්තේ පහල බලා පැමිණ දන්වන්නේ සැක කටයුතු යමක් නැති බැවින් බිය වීමට හේතුවක් නොමැති බවයි. මේ වනවිටද කොලුවා කුරුම්බා ඇට්ටිය සෙමින් සෙමින් කඳ දිගේ තල්ලු කරමින් පැමිණෙයි. අවසානයේ සැක හැර දැන ගැනීමට මේජර් මල්ලිකාම පැමිණෙයි. ඇය හොඳින් පරීක්ෂා කර බලා පවසන්නේ " හුජ්ජ කොල්ලෙක් කුරුම්බා ඇට්ටියක් තල්ලු කරමින් පැමිණෙන" බවයි. මේ වනවිට කොලුවා අපේ උගුලට හසුවී හමාරය. සියල්ලෝම සිනාසෙමින් විහිලුව රස විඳී.
Comments
Post a Comment