වංකගිරිය පසුකර.....
වංකගිරිය පසුකර 1983 දී MBBS උපාධිය සමත්ව ගාල්ල මහ රෝහලට පත්වීම් ලදිමි. නේවාසික එක් අවුරුදු පුහුණුව සඳහා මා තෝරාගත්තේ නාරිවේද හා ප්‍රසව අංශයයි. එහි ගොස් වැඩ කිරීමට ලැබුනේ දින තුනකි. රෝහල් අධිකාරි වරයා මා එහි කැඳවීය. මා සමගම පත්වීම් ලත් වෛද්‍යවරියක එහි හඬමින් සිටියාය. ඇය තෝරා ගත්තේ ශල්‍ය අංශය බව මට මතකය. දැන් එහි යම් අලකලංචියක් වී ඇයව එතැනින් පන්නා දමා ඇත. වෛද්‍ය අධිකාරිගේ යෝජනාව මගේ ස්ථානය ඇයටදී, ඇගේ තැන මට ගැනීමටය. මා එයට විරුද්ධවී, මගේ දුක කීමට නාරිවේද විශේෂඥ තුමා හමුවීමි. ඔහු ඇසුවේ සරල ප්‍රශ්නයකි. මා වෙනුවට එන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද යන්නයි. කෙල්ලෙක් යයි මා කීවිට කරදර නොකර එහි යනමෙන් ඔහු මට නියෝග කලේය. මේ ජංගි හෝදන්නා සමග වැඩ නොකරමි යන අදිටනින් මම වෛද්‍ය අධිකාරි හමුවී ශල්‍ය අංශයට යාමට කැමැත්ත දී එහි ගියෙමි.
මා එහි යන විට ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරිය සිටියේ ශල්‍යාගාරයේය. හැරත් ඇය ලංකාවේ ප්‍රථම කාන්තා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරියයි. මාව හඳුන්වා දුන් විටම ඇය මහ හඬින් ඉංග්‍රීසියෙන් මට බැණහඬ ගසන්නට විය. මා ඇය කියූ හැම දේකටම "යර්ස් මැඩම්" කීවෙමි. එමෙන්ම ඇය බණින්නේ මටම නොව මීට පෙර මෙහි සේවය කල වෛද්‍ය වරුන්ට බවද වැටහිණි මේ නිසා මම සසල නොවූයෙමි. " You are a wonderful man, know?" කියමින් ඇය ශල්‍යකර්මයකට උදව් ගැනීමට මාව කැඳවීය. දන්නා ශිල්ප සියල්ල දමා ඇයට උදව් කලෙන් මාව ඇයගේ සිත් ගත්තේය. කුමන පාසැලකින්ද, කුමන වෛද්‍ය පීඨයකින්ද මා පැමිණියේ ආදී වශයෙන් විස්තර විමසා තේ බීමටද මාව කැඳවීය. මා ඇයට වචනයක් කීමට අවසර ගෙන කීවේ අප දෙදෙනා දුටුවෙත් අදම බැවින්, ආරෝවකට යාමට හේතුවක් නැති බවත්, මට සතියක් කල්දී මගේ වැඩ පරීක්ෂා කරන ලෙසත්, අසතුටුදායක නම් මාද එලවා දමන ලෙසත්ය. පරීක්ශාව සමත් බව මට වැටහිණි.
ඇත්තෙන්ම ස්ත්‍රී බව නිසාම ඇයව පිරිමින් විසින් පෙලීමකට භාජනය කල තැනැත්තියක් බව පසුව ඇයගේ මිතුරු බවෙන් මට පැහැදිලි විය. ස්ත්‍රීන්ට ශල්‍යකර්ම කිරීමට නොහැකි බව පවසා විභාග වලින් ඇයව අසමත් කර තිබුණි. ඇය විශේෂඥ වරියක් වනවිට ඇයගේ මැදිවියට ගොස් තිබුනෙන්, රූමත් වුවද හොඳ විවාහයක් ඇයට නොලැබිණි. ලැබුනු සැමියාද බිහිරි අයෙකි. දරුවන් වැදීමටද ඇය අසමත් විය. මට පෙර වැඩකල වෛද්‍යවරුන් සමග ගැටුම් ඇති වූයෙන්, වාට්ටුවේ රෝගීන්ට හොඳ ප්‍රතිකාර නොලැබිණි. මේ නිසා ඇයගේ කීර්ති නාමයට හානි වීමෙන් පුද්ගලික අංශයේද ඇයට හොඳ ආදායමක් නොලැබිණි. මේ නිසා ඇය අනෙකුත් විශේෂඥ වරුන් අතරද ගර්හාවට ලක්විණි. මේ නිසා ඇයට ඇතිවු ආවේග සියල්ල රෝගීන් හා කාර්‍ය මංඩලය පිටින් යැවිණි. එම අංශයම පිරිහීමට ලක්වී තිබිණි. අවශ්‍ය සහයෝගය නොලැබීම නිසා, කල ශල්‍යකර්මද අසාර්ථක වී තිබිණි. වාට්ටුවේ පිරිසිදුකමද අන්තයටම පිරිහී තිබිණි. මෙහිදී මට සිහි වුනේ පවුලේ අඬදබර නිසා පිරිහී ගිය ගෙදරක තියෙන මූසල බවයි.
මේ සියල්ල නිවැරදි කරගෙන යලිදු වැඩ පටන් ගැනීම නිසා එම අංශයේ කටයුතු යහපත් විය. මෙතෙක් කල් තනියෙන්ම වාට්ටු තුනක සේවය කල මට සහායක වෛද්‍යවරියක්ද ලැබුනේ එම අංශය ගැන යහපත් ප්‍රතිචාරයක් ලැබීම නිසා විය යුතුය. එතෙක් කල් එම අංශයේ සේවය පිණිස පැමිණීමට කිසිවෙකු හෝ අකමැති විය. ඇය මගේ දීර්ග කාලීන මිතුරිය, විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය, පසුව දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් බවටද පත්වූ බව ඇයට ගව්රවයක් ලෙසට මෙහි සටහන් කරමි. ඇයද ඒ වනවිට පළමු දරු ප්‍රසූතියට සූදානම් වූයෙන් නැවත මට තනියම සේවය කිරීමට සිදුවිය. අපට අපේ ප්‍රධානියාගෙන් බොහෝ සංග්‍රහ ලැබිණි. ඇය අපට සැලකුවේ තම දරුවන් මෙනි. මට කමිස, ටයි පටි යනාදිය ලැබිණි. දැන් මගේ බිරිඳ වූ එකල මගේ පෙම්වතිය වූ වෛද්‍ය සිසුවිය, පද්මිනිවද ඇයගේ පිය සම්භාෂණ වලට කැඳවීය.
මෙහිදී මා අවධාරණය කරන්නේ යහපත් අන්තර් පුද්ගල සම්භන්දතා ඇති කර ගැනීමට නම්, ඉවසීම, දයාව, මෛත්‍රිය, කැපවීම යහමින් තිබිය යුතු බවයි. එමෙන්ම අනෙකා වෙනස් කිරීමට පෙර තමා වෙනස් විය යුතු බවයි. ඇයගේ කර්කශ සැලකීම් මා ඉවසූ නිසා, ඇයට මා ගැන වරද පිළිබඳ හැඟීමක් (guilty feelings) ඇතිවිය. ඇය මාවද එලවීනම් මට රැකියාවද වෛද්‍යවරයකු ලෙස සභාවේ ලියාපදිංචියද නැතිවීමට ඉඩ තිබුණි. (අපිට කොයින්ද බාප්පලා?) මේ නිසා පසුව මට හොඳින් සැලකීය. ඇයගේ කීර්ති නාමයද, පුද්ගලික වෛද්‍ය සේවයද යහමින් වැඩුණෙන් ආදායමද සරුවිය. මේ නිසා ඇය කොන්වී සිටි හැඟීමද තුරන්විය. එනිසාය ඇය මට තෑගිභෝග පිරිනැමුයේ. ඇය යහපත් තැනැත්තියකි. පසුව මා හා බිරිඳ පශ්චාත් වෛද්‍ය ඩිප්ලෝමාව හදාරද්දී කොළඹ හදිසි අනතුරු අංශයේදී ඇයව හමුවී අපගේ දරුවන් ගැනද අසා බොහෝ සතුටු වූවාය. එවක ඇය බොහෝ වයෝවුර්ද වී සිටියාය. ජීවිතයේ අරුමේ!
Comments
Post a Comment