ගමේ විත්ති.
අපේ ගමේ විසූ එබරං මාමාව මගේ සිහියට නැගෙන්නේ ඔහු කතා කලේ ලියන භාෂාවෙන් නිසාය. ඔහු සිංහලේ (බිබිලේ) වවන්න යාමට පෙර දරුවන් රැස් කර මෙසේ කීවාලු. "පුතා, දූ, මා දුරු රටකට යනවා. නුඹලා මව බලාගෙන හොඳින් වසන්නට ඕනා!"
ඔහුගේ එක් පුතෙකුවූ බන්දුල අත් කරත්තයක දර පටවාගෙන, අප සෙල්ලම් කරමින් සිටි වොලිබෝල් ක්‍රීඩා පිටිය ලඟින් යන්නට ආවේය. අපේ නඩේ එක් නොහික්මුනු අයෙක් ඔහුට යමක් කීවේය. බන්දුල ඉන් කෝපවී කුණු හරුපයෙන් බැන්නේය. අපේ නඩේ උන්ගේ ලේ කුපිත වූයෙන් බන්දුලව හඹා ගොස් අල්ලා ගත්තෝය. කඩඇණ ගලවා රෝද දෙක ඔයට වැටෙන ලෙස තල්ලු කර හැරියහ. දරගොඩද සමග කරත්තය පෙරලූහ. බන්දුල හඬමින් ගෙදර ගොස් පියාට පැමිණිල්ල ඉදිරිපත් කලා විය යුතුය. එබරං මාමා හඬන බන්දුලද සමග ක්‍රීඩා පිටියට ආවේය. ඔහුගේ යාබද නිවසක විසූ එවෙලාවේ අප සමග සෙල්ලම් කරමින් සිටි නිහාල් කැඳවීය. "පුත නිහාල් නුඹවත් මට කියනවාද මෙතන සිදුවූ අලකලංචිය?" ඔහු නිහාල් ඇමතීය. අපිට ද්‍රෝහී වීමට අකැමති වූ නිහාල් "අනේ මන්දා මාමේ මාත් දැනුයි මෙතන්ට ආවේ" කියා වැඩේ කර හැරීය.
ඉන්පසු ඔහු නඩුව විචාරීමට කැඳවූයේ අපේ නඩේ සිටි ගල් ආඳෙකු වන් රත්නසිරිවය. "සැබෑද නුඹලා මාගේ ලමයාට පහර දුන්නා කියන්නේ" කියා විමසීය. රත්නසිරිද එබරං මාමාගේ කථා ශෛලියම අනුගමණය කරමින් " නැත එබරං මාමේ, මා මේ ලමයාට පහර දුන්නේ නැත" යයි පිලිතුරු දුන්නේය. දසත සිනා හඬ පැතිරිනි. " නුඹලා තක්කාඩි බෑං, නුඹලා නිසා තමයි මෙවැනි අරගල හට ගැනෙන්නේ" කියමින් කරත්තයේ රෝද දෙකද සවිකරගෙන දරද නැවත පටවාගෙන එබරං මාමා බන්දුලද සමග යන්නට ගියේය. මොනවා උනත් ඔහුගේ සංවර කම ගැන විශේෂයෙන් කිව යුතුය.
Comments
Post a Comment