දරුවන්ට ගහන්න එපා!

       දරුවන්ට කරන ආදරය

                  දරුවන්ට ආදරය කිරීමේදී දෙමාපියන් අන්ත දෙකක සිටිනු මා දැක ඇත. සමහරු එළිපිටම දරුවන්ට ආදරය පෙන්වන අතර, සමහරු හිත යට තබාගෙන සිටියත්, ඔවුන් නොමග යනු ඇතැයි සිතා එය පෙන්වීමට මැළිවෙයි. ආදරය, බුදුදහමේ එන සතර සංග්‍රහ වස්තු අනුව ඉටු කෙරේ නම් ඔබට ඒ ගැන ලතවීමට සිදු නොවේ. දානය නම් සිත තුටු වන යමක් දීමයි. මේ යටතේ දෙන තෑගි භෝග, තුටුපඬුරු ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඒවා සියල්ලෙන්ම අර්ථචර්‍යාවක් සිදුවිය යුතුයි. එනම් ලමයාගේ චරිත සංවර්ධන  යක්, දැනුම වැඩිවීමක්, ආකල්ප දියුණුවක්, අත්දැකීම් ලැබීමක් වැනි සංසිද්ධියක් සිදුවිය යුතුයි. නමුත් අවාසනාවට මෙන් ලමයා අතට ලැබෙන සෙල්ලම් තුවක්කුවෙන් හෝ කොම්පියුටර් ගේම් වලින් එවැන්නක් සිදු නොවේ. ඇස පිනවන සුකුරුත්තම් බඩු වලින් එවැන්නක් සිදු නොවේ.
     ඊලඟට අප සැලකිය යුත්තේ අප ලමයින්ට භාවිතා කරන වචන ගැනයි. මෙය සැමවිටම ප්‍රිය වචන විය යුතුය. අපේ ආතතිය ආවේගය පහව යනතෙක් ලමයින්ට පරුෂ වචනයෙන් බැණ වදිමු. මෙය කොපමණ ලමා සිත් පෙලයිද? අත පය කැඩුනත් ස්වභාව ධර්මයාගේ පිහිටෙන් ලමයා ඒවා සුවපත් කර ගනී. නමුත් සිත කැඩුනොත් ඔහුට එය කවදාවත් සුවපත් කරගත නොහැක.
"අත පය මිසක හිත කැඩුනට බෙහෙත් නැත!" යනුවෙන් ආප්තෝපදේශයක් වේ. මෙය තරයේ සිතට ගන්න. මගේ ලමාවිය එවන් සිත් බිඳීම් වලින් ගහණ විය. තාමත් මා ඒවා පිරියම් කරමින් සිටිමි! ශාරිරික දඬුවම් පලදායී නොමැත.එයින් සිදු වන්නේ ඔවුන්ගේ වැරදි ආකල්ප තවත් ශක්තිමත් වීමයි. ශාරිරික නොවන දඬුවම් ඊට වඩා පල දායකය. කෞටිල්‍ය කියන්නේ අප අන් අය ගැන කටයුතු කල යුත්තේ සාම, දාන, භේද හා දණඩ යන අනුපිළිවෙලට බවයි. භේද යනු සොඳුරු භේද කිරීම් වන අතර දණ්ඩ යනු දඬුවම්‍ වේ. ආදරය යනු හොඳම, මිලක් රහිත ත්‍යාගයයි! එය කොන්දේසි විරහිතව දෙන්න. ආදරයෙන් බිය පහ වන අතර දරුවන්  බියපත් කිරීමෙන් ආදරය පහ වන බව තේරුම් ගන්න. දරුවන්ට වඩා භාණ්ඩ වලට ආදරය නොකරන්න.
       දරුවාට ගහකට නැග එයින් වැටුනු පසුත්, දෙමාපියන් ගෙන් බැණුම් නොඅසා ප්‍රතිකාර ලැබීමට අයිතියක් ඇති බව අවබෝධ කර ගන්න. "එපා! ඔබට බැහැ" යන වදන් කිසිවිට දරුවා සඳහා භාවිතා නොකරන්න.එයින් ඔහුගේ ආත්ම ධෛර්‍යය සිඳ නොලන්න.
      දරුවා අයිති ඔබට නොවේ. රජයට හෝ දෙවියන්ටයි. ඒ නිසා දරුවා සමග රළු ලෙස කටයුතු නොකරන්න. ඔබ ඔහුගේ භාර කරුවා පමණි. අයිතිකරුවා නොවේ. අවුරුදු 18 න් එම අයිතියද ඔබට නැතිවේ. ඒ නිසා දරුවා ගැන වැඩි තෘෂ්ණාවෙන් කටයුතු නොකරන්න. තණ්හාවෙන් බය හා ශෝකය පමණක් උපදී. ලමා කල සියදිවි නසාගත් දරුවන් ගැන සොයා බැලීමේදී දෙමාපියන්ගේ හෝ භාර කරුවන්ගේ කෲර සැළකීම්, වද හිංසා ගැන හෙලිදරව් වේ. දරුවාගේ අයිතිවාසිකම් රකින්න. එය එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥප්තියෙන්ද සහතික කොට ගරුකර ඇත. දරුවා යනු දෙවියන් ඔබට දුන් මහඟු තිලිණයයි!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......