වෛරය!

තමන් ආදරය කරන යුවතියගේ අත ගැනීමට තරම් වාසනාවන්ත නොවන පෙම්වතකුගේ ආයාචනයක් ගැන මේ ගීතයෙන් කියවේ. මෙවැනි සමහර පෙම්වතුන් තමුන් කැමති යුවතියට කරදරයක්, කන්දොස්කිරියාවක් වන තරමට ඇය පසුපස යන සිද්ධි දැක ඇත. මෙවැනි සිද්ධිවල අන්ත දෙකක් ඇත.
    එකක් නම් ඇය විසින් ඔහුට නින්දිත ලෙස සැලකීම නිසා, ඇතිකර ගන්නා දරුණු ලෙස පලි ගැනීමේ චේතනාවයි. අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලෙස මෙවන් සිදුවීම් පිළිබද රාජකාරි බොහෝ මවිසින් සිදුකර ඇත. එක් අවස්ථාවක කණ්ඩායමක් සමග ගොස් මෙවන් දැරියක පැහැර ගෙනගොස් කණ්ඩායම් දූෂනයට ලක් කර මරා දැමූ සිද්ධියකි. තවත් විටෙකදී පැහැරගෙන ගොස් දූෂනය කර තමුන්ට විවාහ කර දෙන ලෙස ඇගේ මාපියන්ට බලකල අවස්ථාවකි. තවත් සිද්ධියකදී, එවැනි තරුණයෙකුව, දැරියගේ පියා ඇතුළු සහෝදරයන් විසින් මරා දැමූ අවස්ථාවකි.
        තවත් එක් ශෝචනීය අවස්ථාවකදී, විවාහක කාන්තාවක් හා අයථා හැසිරීමකට තැත්කර, අසාර්ථක වූ විටකදී ඇය විසින් ඔහුට සෙරෙප්පුවෙන් පහර දීම නිසාය ඔහු ඇයගෙන් පළී ගැනීමට පෙළඹුනේ. ඔහු ඇයගේ සැමියාට බොරු කේලාම් කියා ඇයව බිදුවා, පසුව එම සැමියා ලවා ඇයව මරවා දැමූ සිද්ධියක් වාර්තා විය. ඔහු තම මිතුරන් ලවා ඇයව දූෂනය කරවා මරා දමා තිබුනි. මේ හැම අවස්ථාවකදීම තිරිසන් ලෙස පළිගැනීම පැහැදිලිව පෙනෙන්ට තිබුනි. මේ කිසිම විටෙක පිරිසිදු ආදරයක් දකින්නට නොතිබුනි.
      මේ නිසා තමුන්ට එවැනි දරුණු අසාධාරණයක් වුන විටකදී පවා, නීතියේ පිළිසරණ පැතීම හෝ හොදින් කරුණු කියා එය සමථයට පත් කරවීම නුවණට හුරුය. මන්ද යත් මේ හැම විටකදීම අප කටයුතු කරන්නට යන්නේ තවත් කෙනෙකුගේ හැගීම් සමග නිසාය. රාගය මහ ගින්නකි. එහිදී තදින් උරණ වීම කිසි විටක නොකළ යුතුය. දිගින් දිගටම පළි ගැනීමට යාමද මෝඩ කමකි. අප අවබෝධ කරගත යුතු කරුණ නම් දෙපාර්ශවයම කරදරේ වැටෙන බවයි.
     ජනශෘතියේ මෙවැනි විටකදී සාමයෙන් ජාම බේර ගන්නා අවස්ථා ගැන කියවේ.

අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
හිමි නැති ගමන් නුඹ තනිමග කිමද නගෝ
අම්බලමේ නැවතීලා යමුද නගෝ
   
         මේ පැහැදිලිවම ලිංගිකත්වයට කරන ඇරයුමකි. ඇය අපූරුවට ඔහුට පිළිතුරු දේ.

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිදුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා
   
            ගගෙන් එගොඩ වූ පසු ඇයට වු තර්ජනය පහවී යන්නේය. මේ නිසා ඇය ඔලොක්කුවට ඔහුට මෙසේ පවසන්නීය.

අල්ලාගෙන නෙරිය මඩ තැවරුනෙත් නැතී
වසාගෙන දෙතන බිළිදුගෙ කිරිත් නැතී
බාල මස්සිනෙක් පස්සෙන් එන්නෙ නැතී
යන්නම් අය්යන්ඩි ගමරට දුරත් නැතී.
       හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව කාටත් යහපතකි!
https://youtu.be/SA2b8RTxXmo

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......