අපි තර්කානුකූලද

අපි තර්කානුකූලද?

           අද දවසේ අපේ මිනිසුන් ක්‍රියා කරන විදියට නම් ඔවුන් තර්කානුකූල යයි කිව නොහැක. බෝධියක මුලක් තුලින් බුදුරුව පෙනේයයි දැකීමට මීවැල්ලාවේ ගිය මිනිසුන්ගෙන් 46 දෙනෙකුගේ පශ්චත් මරණ පරීක්ෂණ සිදු කිරීමට මා හලාවත  රෝහලේ  සේවය කරද්දී මට සිදුවිය. මෙවැනි දෙයක්වත් පරිකල්පනයෙන් දැක අවබෝධ කරගත නොහී වටිනා කාලය හා මුදල් වියදම් කරගෙන, ලංකාවේ සිව් දෙසින් පැමිණ එය දැකීමෙන්, ඔබ අවබෝධ කරගන්නා ධර්මය කුමක්ද?දොලුකන්දේ පිරිත් පැන් ආනුභාවයෙන්  ඔබ අවබෝධ කර ගන්නා ධර්මය කුමක්ද? තණ්හාවෙන් ඇතිවන්නේ ශෝකය හා භය පමණක්මය යනුවෙන් බුදුන් දෙසා තිබියදී ඔබ පිරිත් පැන් අනුභවයෙන් සාක්ෂාත් කරගන්නා පොහොසත් කම නිරෝගී බව හා ස්වස්ථතාව  කුමක්ද?  අපට පැහැදිලි මගක් සිත සුව පිණිස තිබියදී චෛත්‍ය අභියස ටොන් ගණන් පළතුරු කඳු ගසමින්, වාර්ෂික පිච්ච මල් පූජා සිදු කරමින්, අසූ හාර දහසේ පහන් පූජා සිදුකර පරිසරයේ තිබෙන සුුඟළක් වූ ඔක්සිජන් ටික දවමින් ලඟා කර ගැනීමට දඟලන නිර්වාණය කුමක්ද? ඇත්තෙන්ම බුදුන් තරම් පරිසරය රැකීමට ධර්මය දේශනා කල වෙනත් ශාස්තෲන්වහන්සේ නමක් වේද? මේ මෝඩ අනුගාමිකයන් පරිසරය අපවිත්‍ර කරමින් මේ යන්නේ බුදුන් ගිය මගද?
        දැන් අපේ හාමුදුරු වරුන්ට හා බෞද්ධයින්ට අල්පේශාක්‍ය  දිවි මග මුළුමණින්ම අමතක වී ඇත. මහේශාක්‍ය පන්සල්, ලැගුම් ගෙවල් වලට, මුදල් නාස්ති කරන මහා දානමාන වලට අපේ මහා උපාසක උපාසිකාවන් දායක වනු පෙනේ. නමුත් දුප්පත් මිනිසුන්, ළමුන් දහස් ගානකට මූලික ආහාරයවත් නොලැබ කුසගින්නේ හා මන්දපෝෂණයෙන් දිවි ගෙවති. හිසට හරි හමන් වහලක් නැතුව මහමග වේදිකාවේ පොලිතින් රෙද්දක් යට දිවි ගෙවති. කුමන පූජකයාද තමුන්ට සුඛ විහරණ එපා කියා, දායකයින් ලවා මේ අසරණයෙකුට ගෙයක් හදා දීමට යුහුසුළු වූයේ? තමුන්ගේ පන්සලටම සරි කරදී නිවන් යනමෙන් දේශනා කරති. ඇත්තෙන්ම ඔබට මෙසේ නිවන් සාක්ශාත් කර ගත හැකිද? කිසිසේත්ම නැත! එය මෝඩ ශ්‍රද්ධාවකි! මෝඩ ශ්‍රද්ධාව වැඩි කමට හාමුදුරුවන්ගේ ඇඟේ ඉදල හේත්තු කර වැන්දා වැනි මෝඩ ක්‍රියාවකි. නිවන් මග පැහැදිලිව බුදුන් විසින් දේශනා කර ඇත. නමුත් මොවුන් සියල්ලන්ටම අවශ්‍ය නිවන් යාමට නොව දෙව් මිනිස් සැප හැකිතාක් කල් විඳීමටය. එයත් තණ්හාවකි. මෙසේ තණ්හාව වැඩීමෙන් නිවන් දැකිය හැකිද? මේ ගැන පරම සත්‍යය මේ මෝඩ මිනිසුන්ට දේශනා නොකරන්නේ ඇයි? මෙවැනි මිනිසුන් සමග මේ සංඝ සමාජයට නිවන් දැකිය හැකිද? මිනිසුන් පෙළන, ජාතික ධනය ගසා කන අධම, නීච පාලකයින්ට, තව දුරටත් මේ ජාතික දේහය කුණු කර බුදීමට, බලයට එන්නට, බෞද්ධ ප්‍රතිපත්ති කෙළෙසමින් චීවරයේ බලය භාවිතා කිරීමට උඩගෙඩි දෙන්නේ ඇයි? ඔවුනුත් සමග ජාතික ධනය ගසා කෑමටද?  මහජන මුදලින් තම පන්සලට බෙන්ස් මෝටර් රථයක්, ග්‍රාන්ට් එකක් ලබා ගැනීමටද? සියළු දුශ්චරිත ක්‍රියා වල යෙදී නීතියෙන් බේරීමට දේශපාලන හස්තයේ පිහිට ලබා ගැනීමටද? මොවුන් දෙසන්නේ වැදි බණ නොවේද? මේ බණ කුමන බුදු දහමට එකඟ වන්නේද? මොවුන් සරණ නොයන, මොවුන්ගේ අධම යෝජනා වලට එකඟ නොවන අවංක පාලකයින් පිටු දැකීමට නොවේද මේ ජනපති මැතිවරණයක් අභියස දත කන්නේ?  බොරුවට, රට ජාතිය බේරා ගැනීමට මගේ මේ ව්‍යායාමයයි, කීවද බුද්ධිමතුන් යථාර්ථය දනී. නමුත් අවාසනාවට රටේ බහුතරය බුද්ධිමතුන්  නොවේ! තවත් වරක් මේ රට අගාධයේ හෙලීමට කැස කවන මේ ඊනියා දේශප්‍රේමින්, පූජකයින් පරසක්වළ ගැසීමට, දෙතිස් කෝටියක් සම්‍ය දෘෂ්ටික දෙවි වරුන් මෙරටට වඩින්නේ කවදාද?

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......