කෑගල්ලේ රසකතා!
මගේ රාජකාරී ජීවිතයෙන් වැඩි කලක් සේවය කලේ කෑගල්ල දිසාවේය. ඒ රත්තරන් මිනිසුන්ට මම සැමදා ප්‍රේම කරමි. එම වකවානුවේ මම රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙස සේවය කලෙමි. අපේ වැඩ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අගැයීමට පෙර කැගල්ලේදී සොයා බලන රැස්වීමකට පෙර අපේ සංඛ්‍යාන නිලධාරී විමලසේන මහතා කාර්‍යබහුල වන්නේ බොහෝ සංඛ්‍යා ලේඛන සූදානම් කිරීමට තිබෙන බැවිනි. එකල අපට පරිගණක නොවීය. අතින් සියල්ල, මාගල් වැනි පත්‍ර මත, වගු ලෙස පිළියෙළ කිරීමට සිදුවී තිබුණි. මේ මොහොතේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි වික්‍රමාරච්චි මහතාට ඔහුගෙන් යමක් දැන ගැනීමට අවශ්‍ය වූවද, අවශ්‍ය අවධානය විමලසේන මහතාගෙන් නොලැබුනි. තරහ ගිය වික්‍රමාරච්චි මහතා මෙසේ කීවේය. "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. තෝ කවදා හරි මැරෙන්නේ ඔය ඉලක්කම් ගොඩ උඩම තමයි!"
අපේ පරිපාලන නිලධාරියා තට්ට හිසක් ඇති, මිටි, කිසිම පෞරුෂයක් නොමැති වූ අයෙකි. ඔහු වරෙක රියැදුරෙකුට අසීමිතව බැණ වැදුනි. ඔහු වේගයෙන් කතා කරද්දී, බුරුල් දත් කුට්ටම බිමට වැටෙන්න යනවා මෙන් පෙනේ. සීමාව ඉක්මවා තරහ ගිය රියැදුරු බිම තිබූ අපිරිසිදු කඩදාසියක් අහුලාගෙන මෙසේ කීවේය. " මහත්තයා තව එක වචනයක් කථා කලොත් මං මේ කඩදාසියෙන් අල්ලලා ඔය දත් කුට්ටම ගලවලා අන්න අර කැලේට විසි කරනවා!" ඔහු බැනුම නවතා "සරස්" ගා දත් කුට්ටමද මුවට තද කරගෙන ඉවත ගියේය.
වාර්ෂික සුහද හමුවට දිවා ආහාරයක් දීමට සූදානම් කෙරිණ. එක් එක්කෙනා එක එක ආහාර භාර ගත්තද බොහෝ මසුරු වික්‍රමාරච්චි මහතා වියදම් යන කිසිවක් භාර නොගෙන ප්‍රනීත පානීය ජලය සැපයීමට භාර ගති. එකල දැන් මෙන් වතුර බෝතල් ප්‍රචලිත නොවීය. අදාල දිනයේ වික්‍රමාරච්චි මහතා මහා පාරට්ටුවක් කරමින් සේවකයකු කරපිට පානීය ජලය විශාල බූලි කීපයක් ගෙන ආවේය. " අප්පා.. ඊයේ ඉදන් මගෙයි අපේ නෝනාගෙයි වැඩේ උනේ වතුර උනු කල එකයි! කූල් කල එකයි!" කියමින් මහා කෙබරයක් පත බෑවේය. ඔහුගේ පාරට්ටුව වැඩි නිසාම අනිත් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි දයානන්ද මහතාට සැක සිතී බූලියක පියන ඇර බැලූ විට දුටුවේ තිත්තයෙකු එම වතුරේ එහා මෙහා පීනන ආකරයයි. එය ඔහු අනිත් අයටද පෙන්වුයෙන් වික්‍රමාරච්චි මහතා මදකට නිරුත්තර විය. නමුත් වහාම හේතුව සොයා ගත් ඔහු කීවේ "මේ වැඩ කරන කොල්ලා බූලි පහලට ගේනකොට එකක් හැලෙන්න ඇති. මූ බයට ඇල්ලෙන් ඒකට වතුර පුරවන්න ඇති" කියාය. ඔහු විසුවේ ලස්සන දිය ඇල්ලක් සහිත පෙදෙසකය. එකල කෘමි නාශක බහුල නූයෙන් එම වතුරේ ඇති තරම් කුඩා මාලු ඔබ මොබ පීනමින් සිටියහ. එදා කවුරුත් කෑමෙන් පසු ටැප් වතුරෙන් සැනසුනෙන්, වික්‍රමාරච්චි මහතාගේ "boiled cooled water" ඉතිරි විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා ලග සේවය කල කා. කා. සහායක සෝමසිරිද එම බලයම භාවිතා කලා වැනිය. මේ නිසා මාවනැල්ලේ මගේ කාර්‍ය මංඩලය සිටියේ ඔහු ගැන නොසතුටිනි. හදිසියේම ඔහුට ස්ථාන මාරුවක් ලැබී මගේ කාර්‍යාලයට පැමිනුණි. හදිසියේම වගේ ඔහු පැමිණුන බැවින් කාටත් යම් කුතුහලයක් ඇතිවිය. ඒ ගැන ඇසූවිට ස්ව කැමැත්තෙන් පැමිණි වගක් කියවිණි . නමුත් මේ රහස ඔහුගේ වර්ගයේම දීර්ග කාලීන සතුරන් විසින් හෙලිදරව් කර ගැනිණි. ඔහු දින 4 ක් නොදන්වා සේවයට නොපැමිණි බැවින් අධ්‍යක්ෂ තුමා ඒ පිළිබදව විමසා තිබුණි. ඔහු කලබල වූවිට ගොත ගසයි. " අම්මට හු....කියන විටම ඔහුට ගොත ගැසී ඔහු අසභ්‍ය දෙයක් කීමට තැත් කරතැයි සිතාය ඔහුව මාරු කර හැර තිබුනේ. "මොකද්ද දැන් සෝමසිරි කියන්න හැදුවේ" මම විමසුවෙමි. "අම්මට හුගක් අමාරු උනා. දවස් 4 ක් කෑගල්ලේ ඉස්පිරිතාලෙ හිටියා, ඒකයි එන්න බැරිඋනේ, කියලයි මං කියන්න ගියේ" සෝමසිරි අසරණව කීවේය!
Comments
Post a Comment