Inferiority & superiority complex

හීනමානතා සංකීර්ණය (Inferiority complex)

            තමුන් අන් අයට වඩා පහත් යයි සිතා, අන් අයගේ අවධානය දිනා ගැනීමටත්, නොහැකි වූ විට විහින්ම සමාජයෙන් කොන්වීමත් මෙයින් අදහස්වේ. මෙහි කියැවෙන අයුරුම එය සංකීර්ණතාවයකි. අපට බහුලව සමාජයේ එදිනෙදා දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. මොවුන්ට ඔනෑම දෙයක් ඉතා අධි සංවේදීව සිතන්නට අවශ්‍යවේ. වරෙක මගේ වසරට පැමිණ සිටි ජ්‍යේෂ්ඨ වසරක සිසුවෙකුගේ මෙම සංකීර්ණ තාවය මම සනිටුහන් කලෙමි.
       මහාචාර්යවරයා රෝගී තත්ව දෙකක වෙනස දැක්වීමට යොදා ගත්තේ වෛද්‍ය පීඨයේ අප උගන්නා අවුරුදු 5 ක් වූ වසර ගණනයි. ඔහු අප විමසූ රෝග දෙකෙන් විරල රෝගය ගැන ඉතා කරුණාවෙන් කියා සිටියේ " ඔබ වසර 5ක් මෙහි සිටියොත් මෙවන් එක් රෝගියෙකු දැකිය හැකි බවත්, තවත් වසර 5 ක් සිටියොත් තවත් එක් රෝගියෙකු දැකිය හැකි බවත්‍"ය. මගේ මිතුරා එවකට සිටියේ එම 10 වන වසරේය. ගත් කටටම ඔහු කීවේ " ඕකා මචන් ඔය මටයි කීවේ" කියාය. ඇත්තෙන්ම මහාචාර්යවරයා ඔහු එහි සිටින බව නොදත්තේය. මෙහිදී  පෙනෙනුයේ එම අධිසංවේදී බවයි.
                ඔවුන් බොහෝ විට තමා උසස් අයෙකු බව පෙන්වීමට බොහෝ ප්‍රයත්න දරයි. එම පිළිගැනීම නොලැබුනු විට අතිශයින් කෝප වෙයි. එම පිළිගැනීම බලෙන් ඉල්ලා සිටී. සමහරු රැස්වීම් වලදී කතාවක් ලබා ගැනීමට පුදුම ලෙස ප්‍රයත්න දරති. මාද සහභාගී වූ පාසැල් සංවර්ධන සමිතියක, කලින් සැළසුම් කරගෙන, ගුරුවරු හා තෝරාගත් දෙමාපියන් කීප දෙනෙකු, එකිනෙකාගේ පිට කසා ගන්නා ආකාරයෙන් තනතුරු වලට එකිනෙකාව පත් කර ගන්නා අයුරු දුටිමි. අඩු වශයෙන් එක් පත්වීමකදීවත් වෙනත් යෝජනා ඇත්දැයි කියාවත් නිල සභාපති වූ විදුහල්පති නොවිමසීය. මම මෙය විදුහල්පතිගේ අවධානයට ලක් කර එහි නීති හා සම්ප්‍රධාය විරෝධී බව පෙන්වා දුනිමි. ඔහු එය පිළිගත්තෙන් මොවුන්ව සභාවේ පරිභවයට ලක්විය. කෝපාවිෂ්ඨ වූ එක් උප විදුහල්පති කෙනෙක් ඔහු අතේවූ ලිපිගොනුව කඩදාසිත් සමග සභාවට විසිකර පිටවී ගියේය. මාද දන්නා ඔහු මිටි පෞරුෂයක් නැති ඉංග්‍රිසි බසද නොදත් සිංහල උපාධිධාරියෙකි. අධිමානයෙන් එතෙක් සභාවේ හැසිරුන අයෙකි. ක්ෂණයෙන් ඔහුගේ හීනතාමාන සංකීර්ණය සභාවට ප්‍රදර්ශනය විය.  මොහු ඇත්තෙන්ම ගුරුවරියක් වූ භාර්‍යාවටද වඩා බොහෝ මිටිය, ගෙදරදී ඇයට බියක් දක්වන තැනැත්තෙකි. මුවන් පැලැස්සේ ආරච්චිල චරිතය මෙනි. සමාජීය, ශාරිරික, මානසික,  උගත් බව අතින් පහත් යයි සිතන චරිතයකි. පිරිසක් මැදදී ඔවුන්ට ඒබව වැඩි වශයෙන් දැනේ. මේ නිසා පැරණි සිංහල සිනමා පටයක චරිත මෙන් අධි රංගනයක යෙදෙන බැවින් මොවුන්ව හඳුනා ගැනීම ඉතා පහසුය. සමහරවිට කුල වශයෙන්ද පහත් යයි හැඟීමක්ද ඔවුන්ට දැනේ. බලෙන්ම ප්‍රභූ සැලකීම් ලැබීමට වෙර දරයි, කැපී පෙනීමට වෙර දරයි. අප මොවුන්ව තේරුම් ගෙන අනුවේදනය කල යුතුය. ඉන් පිටවීමට පහසුකම් සැළසිය යුතුය.
            කුඩාකල සිට ඔවුන්ට  low self esteem තිබී ඇත. වැඩිහිටියන්ගේ තදබල විවේචන, සැර කිරීම්, දඬුවම් ආදියට ලක්වී ඇත. ඔවුන්ට අගය කිරීම් ලැබී නැත. ඔවුන්ව ප්‍රබෝධමත් කිරීම්, අවබෝධ කර ගැනීම් සිදුවී නැත. මා කුඩා කල උගත් පාසැල්වල බොහෝ මෙවන් ගුරුවරු සිටියහ. ඔවුන්ට වඩා ඉහලට උගනීයයි සිසුන් ගැන සැකෙන් කටයුතු කලහ. ප්‍රසිද්ධියේ ඇසුවේ "උඹලා ඒජන්තලා වෙන්නද ඉගෙන ගන්න හදන්නේ" කියාය. ඔවුන්ගේ ලෝකය එම ගම විය. ඉන් එහා ලෝකයක් නොදුටුවහ. මේ සියල්ල පහත් සමාජීය අගැයුම් වල ලක්ෂණ බව පෙනේ. වාසනාවට මා එහි ගොදුරක් බවට පත් නොවුනි. මම සමාජය මොන තරම් විසල්දැයි දැක්කෙමි. එහි සංකීර්ණතා හඳුනා ගත්තෙමි.
               හීනමානතා සංකීර්ණයේ ප්‍රති විරුද්ධ තත්වය අධිමානතා සංකීර්ණයයි. (Superiority Complex). ඔවුන් හිතන්නේ තමුන් ලෝකෙටම ලොක්කන් මෙනි. තමුන් හැමවිටම නිවැරදි බවත්, අන් අය හැමවිටම වැරදි බවත්, තමුන්ට වැරදීමට ඉඩක් නැති බවටත් අධි තක්සේරුවක සිටිති. අන් අයව පහත් ලෙස දකිති. ඔවුන්ට දක්ෂතා නැතැයි සිතති. ඇත්තෙන්ම මොවුන් මේ තැත් කරන්නේ තම හීනමානය වසා ගැනීමටයි. එයට පළිහක් ලෙස මේ අධිමානය යොදා ගැනීමටයි. මොවුන්ද අපට නිතරම හමුවේ.
අප මෙයින් ගොඩ එන්නේ කෙසේද? පළමුව තමාව අන් අය හා සැසඳීම, නවතන්න. හීනමානයට හේතුව සොයාගන්න. රිනාත්මක අදහස් හිතෙන් ඉවත් කරන්න. තමාගේ දක්ෂතා ගැන මෙනෙහි කරන්න. හොඳ කලණ මිතුරන් හඳුනා ගන්න. ඔවුන්ගේ සහයද ලබා ගන්න. තමුන්ගේ කාන්සාව හඳුනාගෙන එය පිළිගන්න. උසස් මිනිසුන් අතරේ උසස් සිතුවිලි ඇතිකර ගන්න. නව දක්ෂතා ඇතිකර ගන්න.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......