Punctuality
වේලාවට වැඩ කිරීම
අපේ රටේ ජාතික පුරුද්දක් වන තරමට, වේලාවට වැඩ නොකිරීම පත්ව ඇත. එය රටේ ඉහළම තැන සිට පහළම තැන දක්වා ව්‍යාප්තව ඇත. ඔබට වේලාවට වැඩ කිරීම ගැන නිදසුනක් අවශ්‍ය නම් ජපානය ගත හැක. ඔවුන් ප්‍රමාදය ගැන සඳහන් කරන්නේ තත්පර වලිනි. ඔවුන් අද සිටින දියුණු තත්වයට එක ප්‍රධාන හේතුවක් නම්, වේලාවට වැඩ කිරීමයි. වරෙක මගේ රෝහලේ විවෘත කිරීමකට රටේ ප්‍රධාන පුරවැසිනිය පැමිණියේ පැය 12 ක් ප්‍රමාද වීය. අපට මෙහෙම වීම අරුමයක්ද? දහස් ගණනක් මිනිසුන්ගේ වැඩ කරන කාලයෙන් පැය 12 ක් අපතේ යාම යනු කොපමණ අපරාධයක්ද?
මෙය මහා මාර්ගයේද දක්නට ලැබේ. අනිත් මිනිසුන්ගේ කාලය කමින් මහමග මැද බඩගාන බස් රථ මෙන්ම පුද්ගලික වාහනද, අනිත් මිනිසුන්ගේ ගමන් බිමන් ප්‍රමාද කරවයි. වෙලාවට වැඩ කිරීමට බාධා කරවයි. රටේ ජාතික සම්පත් සකසුරුවමින් භාවිතා කිරීම කාගේත් පරම යුතුකමකි. මහමගද එසේ භාවිතා කලයුතු සම්පතකි. මේ නිසා අනිත් අය ගැනද සිතමින්, හුදු ආත්මාර්තයෙන් මිදී අනිත් වාහන වලටද ඉඩ සලසන්න.
ඉන්ධන පිරවුම් හලේදී, බස් රථයේදී, වර්ණ සංඥ ඉදිරියේ ඇති පෝලිමේ, දුම්රිය නැවතුම් පලේදී පවා ඔබට අනිත් අයගේ කාලය ඉතිරි කර දිය හැක. ටිකට් පතට අවශ්‍ය නියමිත මුදල අතේම තබා ගැනීම, ඉන්ධන පිරවූ පසු වාහනය විගස ඉවතට ගැනීම, ගමනට සූදානම්ව වර්ණ පුවරුව ගැන අවධානයෙන් සිටීම වැනි සරල කරුණු වලට ඔබේ අවධානය යොමු කිරීම ඔබේ ආචාරශීලි භාවයද, අන් අය ගැන සැලකිලිමත් වන බවද පෙන්වයි. ඔවුන්ගේ වටිනා කාලයද ඉතිරි කර දෙයි. සැම කරුණකදීම තමුන් ඒ සඳහා සූදානම්ව සිටීම අන් අයගේ කාලය සරිකර දෙයි. වාහනයක් හැරවීමේදී ඒ බව කලින් අන් අනිත් වාහන වලට දැන්වීම පවා මෙහිදී වැදගත් වේ. විනාඩියක ප්‍රමාදය, ප්‍රධාන නගරයක වාහන පෝලිමක් ඇති කරයි.. මෙහිදී නිකරුනේ පිළිස්සෙන්නේ පිටරටින් විදේශ විනිමය ගෙවා ගෙන්වූ ඉන්ධනයි. හැරත් ඉන් ඇතිවන පරිසර දූෂණය තවත් මිනිසුන්ට සතුන්ට වන හානිය වැඩි කරයි. කාලය නිකරුනේ කා දැමෙයි. කාර්‍යාල වල ඇතිවන අනවශ්‍ය ප්‍රමාදයද මිනිසුන්ගේ වටිනා කාලය කා දමන අතර ඔවුන්ගේ ආතතිය හා ආවේගය වැඩි කරමින්, ආයුෂද වනසා දමයි. තාක්ශණය දියුණු මෙකල කාර්‍යක්ෂමව වැඩ කල යුත්තේ කෙසේදැයි රජයේ ප්‍රධානින්ට දැන ගැනීමට අවශ්‍ය නම් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ආදර්ශයට ගන්න. ඔවුහු සංනිවේදන තාක්ෂණය උපරිමයෙන් තම රාජකාරි කටයුතු වලට යොදාගෙන විශ්‍රාම වැටුප් කඩිනම්ව, නිවැරදිව ඉටුකර දෙමින් රටට මහත් සේවයක් නිහඬව ඉටු කරති. එයත් තවත් රජයේ දෙපාර්තමේන්තුවක් නම් අන් දෙපාර්තමේන්තු වලට ඉන් ආදර්ශයක් ගත නොහැක්කේ මන්ද?
Comments
Post a Comment