නව යුවලට ඇති අභියෝග

නව යුවලකට ඇති අභියෝග අභිනවයෙන් අතිනත ගන්නා යුවලක් සිතන්නේ ඇන් සියළුම ප්‍රශ්න අවසන් බවයි. නමුත් සියළුම ගැටුම් ආරම්භ වන්නේ සැමියාගේ පවුලේ අය සමග ජීවත්වීම ඇරඹූ පසුවයි. මෙතැනදී අභියෝග කීපයක්ම හමුවේ. පුතාගේ ආදරය දිනා සිටි මවට එතැන අහිමිවීම මුල්ම අභියෝගයයි. තවද සැමියාට අවිවාහක සහෝදරියන් සිටී නම්, තම සහෝදරයාගේ ආදරය බෙදී යාමක් සිදුවන බැවින් ඔවුන්ද අභියෝගයකි. මේ නිසා ඔවුන්ගේ මානසික සමතුලිත බව බිඳී යාමෙන් නව මනාලියව පරීක්ෂා කිරීමකට භාජනය වේ. මෙහිදී ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇයගේ යම් අඩුපාඩුවක් සොයාගෙන ඒ මත ඇයව විවේචනයට භාජනය කර ඇයගේ කීර්ති නාමයට වරදක් කිරීමයි. ඇය සිතා සිටි තරම් අනගි බිරියක් නොවන බව සැමියාට ඒත්තු ගන්වා, ඇයට ඔහුගේ ඇති පිළිගැනීම හා අගය අඩුකර දැමීමයි. මෙයට අමතරව ඔවුන්ට ජීවත් වීමේ අභියෝගයද ඇත. මඟුලට වු වියදම් ප්‍රතිපූරනය කිරීම, ණය ගෙවීම ගමන් බිමන්, තෑගි වලට වියදම් සොයා ගැනීම, තමුන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම, සමාජ උත්සව සඳහා වන වියදම්, මේ සියල්ල සරිකර ගත යුතුය. මනමාලි කුස්සියට ආවත් නාවත් එය අනිත් අයට වරදක්‍ විය හැක. ආවොත් කියන්නේ, දැන් එයා මුළු ගෙදරම බලය පතුරන බවයි. නාවොත් කියන්නේ ආඩම්බර බව හෝ වැඩ නොදන්නා බවයි. රුචි අරුචි කම් නොගැලපීම, අඳින පලඳින ක්‍රම වල අඩුපාඩු, හදන කෑම බීම වල වැරදි ආදී මෙකී නොකී සියල්ල විවේචනයට ලක්වේ. ඊර්ෂ්‍යාව මෙතනදී නිර්දය විවේචනයට හේතුව වේ. මේ නිසා මනාලියගේ මානසික ඒකග්‍රතාව බිඳී යන නිසාද යම් යම් වැරදි සිදුවිය හැක. එයද ඇයට විරුද්ධව භාවිතා වේ. මෙහිදී ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇයව දුර්වල කොට තම නියෝග වලට යටත් වහලියක් කර ගැනීමයි. ඇය ඔවුන්ට තර්ජනයක් බව සිතා ඇයගේ පෞරුෂය බිඳ දැමීමයි. ඇයද තම ආත්ම ගරුත්වය රැක ගැනිම සඳහා සටනට එළඹීමෙන් සැමියාගේ මනසද අවුල්වී ඔහුගේ ඉවසීම කඩා වැටේ. මනසේ සමතුලිත බව බිඳ වැටේ. මේ නිසා ගෙදර සාමයද බිඳ වැටේ. එයට දෙපාර්ශවයේ නෑයින්ද ඈඳීමෙන් මෙය පවුල් දෙකක් අතර ආරාවුලක් බවටද පත්වේ. දැන් නව යුවලගේ අවුල් වන මානසිකත්වය ගැන සිතා බලන්න. මනාලිය ජීවිතයේ අමිහිරිතාව සමනය කර ගැනීමට ඇයගේ නිවසට යා හැක. සැමියාටද එහි විසීමට ආරධනා කල හැක. ඔහු තම ආත්ම ගරුත්වය රැකීම සඳහා එය ප්‍රතික්ෂේප කලහොත් මෙය දික්කසාදය දක්වා දුරදිග යන ප්‍රශ්ණයක් බවටද පත්විය හැක. මෙහිදී අප සොයා බැලිය යුත්තේ අන්‍යයන්ගේ සැඟවුන අරමුණ කුමක්ද යන්නයි. එය අසාර්ථක කිරීමට යුවළ සමගියෙන් පෙරමුණ ගත යුතුය. මේ සියළු අභියෝග වලට මමද මුහුණ පෑවෙමි. නමුත් සාමකාමීව සියල්ල සමනය කර ගත්තෙමි. විවාහ උත්සව අවස්ථාවේ සිටම සරලබව රැක ගැනීම හොඳ සිරිතකි. එයින් අනවශ්‍ය ණයතුරුස් වීම් වළකා ගත හැක. මෙය අනිත් අභියෝග වලට හොඳින් මුහුණ දීමට හොඳ ආයුධයකි. සැමවිටම අනවශ්‍ය ගැටුම් වළකා ගත යුතුය. අඹු සැමි සමගිය වැදගත්‍ වේ. නමුත් එය පවා අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවක් විය හැක. ඔවුන්ගේ ගැටුම් වලින් කාළකන්නි සතුටක් ලබන නෑයින්ද වේ. මෙය ඉතා සංකීර්ණ තත්වයකි. තව කෙටි කලක් ජීවත්වන නෑයින් නිසා ඔබගේ දිගු කාලීන සතුට විනාශ කර ගන්නේ ඇයි? මෙහිදී ඔවුන්ට යම් අනුග්‍රහයක් දැක්වුවද ඔබට අයහපතක් නොවේ. අසාධාරණම කොන්දේසි මත එළඹෙන සාමය, සාධාරණම හේතු මත එළඹෙන සටනට වඩා වටී. ඒ සඳහා අපේ මානය අඩුකර ගනිමු. උපායශීලි වෙමු. පියවරක් පසු පසට ගෙන පසුව පියවර දෙකක් ඉදිරියට යමු. ඇවැසිනම් පවුල් උපදේශනය සඳහාද යොමුවෙමු. ඔබට ඉන් විශාල මානසික සහන හා උපදෙස් ලබා ගත හැක. සැමවිටම ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමද ඔබට බොහෝ උපකාරී විය හැක. "සන්තුට්ඨී පරමං ධනං!"

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......