ආදර වන්තයින්ගේ ගැටුම්
ආදරවන්තයින්ගේ ගැටුම්
අතීතයේදී සැලකුවේ අඹු සැමියන්ගේ ගැටුම් බත් හැලිය ඉදෙන කම් පමණක් බවයි. නමුත් දැන් නම් එම ගැටුම් ඊලඟ ආත්මය තෙක් පවා වුවද ගෙන යාමට ඔවුන් සූදානම් බවක් දැනේ. එසේ වන්නේ ඇයි?
කිසිම කෙනෙකු තම ආත්ම අභිමානයට අභියෝගයක් ඇති වනු දැකීමට කැමති නැත. අනෙකා තමාව ප්‍රතික්ෂේප කරන විට දැනෙන්නේ එවැන්නකි. මෙය වෛරයක් දක්වා වුවද දුරදිග යා හැක. විවාහයක් බිඳ වැටීමේදී දෙපාර්ශවයේම නෑයින් එයට සතුරු ආකල්පයෙන් මැදිහත් වන්නේද ඒ නිසාය. විවාහයට පිටින් වෙනත් අනියම් සබඳතාවක් හසුවූ විටද මෙවැනිම තත්වයක් ඇතිවේ. එක් පාර්ශ්වයක් විසින් එය තම පවුලේ නෑදෑයින්ට දැන්වීම නිසා විරුද්ධ පාර්ශ්වයටද අතර මැදි සමාදානයකට ඒමට නොහැකි වන්නේ ඔහුගේ ආත්ම ගෞරවය කෙළෙසීම නිසාය. මේ නිසා ඔවුන්ට වෙන් වීම හැර වෙනත් විකල්පයක් නොමැතිවේ. හංසවිලක් සිනමා පටයේ එය හොඳින් විග්‍රහ කෙරේ.
ආදරය වැඩි නිසාම එකෙක් අනෙකාව තම ග්‍රහණයට ගැනීමට තැත් කිරීම නිසාද ගැටුම් ඇතිවේ. ඒ ඔවුන්ගේ පුද්ගලික නිදහස නැති වීයාම නිසාය. මෙය උග්‍ර වූවිට morbid jealousy තත්වය ඇතිවේ. එවැනි අයගෙන් විවාහයට පෙර වෙන් වීම හොඳම විසඳුමයි. "වැඩි සෙනේ දබරයටයි" පැරැන්නෝ කීවේ නිකමට නොවේ. ඕනෑම දෙයක් ඔනෑවට වඩා ඕනැ නැත!
බොහෝ පවුල් වල thought ventilation නැත. එකෙක් අනෙක් අයව බුල්ඩෝසර කර දමයි. එතැන සමාදානයක් නැත. සතර සංග්‍රහ වස්තු (දානය, ප්‍රිය වචනය, අර්ථ චර්‍යාව, සමානාත්මතාව) දේශනා කිරීමේදී බුදුහු ඒ බව මනාව අවබෝධ කර දෙති.
එකෙක් අනෙකාට කරන ගෞරවය බොහෝ ගැටුම් වළකාලයි. ආදරණීය අනුවේදනයද එළෙසම උපකාරී වේ. කලින් මේවා ගැන මා බොහෝ දේ ලියා ඇත. ඉවසීම නැතිවීම අවාසනාවන්ත තත්වයකි. ඉවසීමෙන් සැනසීම ලැබේ. ආතතිය හා ආවේග, අපේ ඉවසීම විනාශ කර දමයි. මේ නිසා ජීවන නිපුණතා වැඩීමෙන් ඒවා පාලනය කල යුතුය. සිග්මන් ප්‍රොයිඩ් කීවේ පවුල් ගහේ නැග රණ්ඩු නොවන ලෙසයි. අපව විවේචනය කරන ගමන් අප ආදරය කරන අන් අයව විවේචනය කිරීම අපි නොරුස්සමු. නමුත් වචන නමැති කිනිසි වලින් පහර ගැහීමේදී අනෙකාගේ දෙමාපියන්, සහෝදර කැල වෙතද එම කිනිසි එල්ල කිරීම ඉතා අශෝභන ක්‍රියාවකි.තම තමුන් පමණක් විවේචනය කර ගැනීම ඊට වඩා සභ්‍ය වේ. එකෙක් අනෙකාව අසතුටු නොකර සතුටු කෙරේ නම් පවුලක සමස්ත ගැටුම් වලින් 80% ක් වලකා ගත හැක. ප්‍රේම කරන විට සමාන කම් සසඳා සතුටු වන අපි දික්කසාදයේදී අනෙකාගේ අසමාන හා දුර්වලකම් හුවා දක්වමු. එය මොන තරම් අවාසනාවක්ද?
මිනිසෙක් ගැහැනියකට කවදාවත්ම සමාන නොවේ. මේ නිසා අප දැකිය යුත්තේ, එකඟ විය හැකි අවස්ථා වේ. එකඟ විය නොහැකි අවස්ථා ආදරයෙන් පරිත්‍යාගයෙන් අමතක කරමු.
From Note: https://goo.gl/ScG4Hc
Comments
Post a Comment