මැතිවරණ උණුසුම
               මට යන්තම් මතක මුල්ම මැතිවරණය 1965 මැතිවරණයයි. පත්තර පනත මැති සබයේදී පරාජය උනේ මහානාම සමරවීර, සභානායක සී. පී. ද සිල්වා ඇතුළු පිරිසක් ආණ්ඩුවට එරෙහිව චන්දය දීම නිසාය. සිරිමාවෝ අගමැතිනිය ආණ්ඩුව විසිරුවා හැරීමට විලියම් ගොපල්ලව අග්‍රාන්ඩුකාරයාට උපදෙස් දුන්නාය.
             එවර බලයට පැමිණියේ හත් හවුල් ආණ්ඩුවකි. මගේ පියා එක්සත් ජාතික පක්ෂයට ලැදිව කටයුතු කිරීම නිසා මිනුවන්ගොඩ ආසනයට එම පක්ෂයෙන් ඉල්ලූ එස්. එෆ්. ද සිල්වා මහතා, මගේ පවුලේ අයට චන්දය දීමට උඩුගම්පොලට යාමට වාහනයක්ද එවා තිබුනේය. නමුත් ඔහු පැරදී එම් පී. ද ඉශෙඩ්. සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආසනය දිනුවේය.
           ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකා කාරයෝ හිතේ අමාරුවට මෙන් කඩ පොලේදී නිතර කීවේ "අපි බලමුකෝ කී කාලයක් ආණ්ඩුව කර ගෙන යයිද කියලා, 60 මාර්තු වලත් රාජාසන කතාව පැරදිලා UNP ආණ්ඩුව තුන් මාසෙන් ගෙදර ගියානේ!" කියාය. නමුත් ඔවුහු අවුරුදු 5 ම ආණ්ඩුව කර ගෙන ගියෝය.
                අළුත් ආණ්ඩුවක් පැමිණි කල ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පෙර වාදනය වන සංගීත ඛණ්ඩයද වෙනස් වෙයි. අළුත් වාදනයට අනුරූප වූ වචන ඛණ්ඩය "කොස් කන්න දෙල් කන්න බඩගින්න හැරයන්න, ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" යනුවෙන් අපි ගායනය කලෙමු. අළුත් ආණ්ඩුවේ සටන් පාඨය වූයේ වගා සංග්‍රාමයයි. අපේ ගමෙන්ද ගොවි හමුදාවට තරුණයෝ බැඳුනාහ. ඩඩ්ලි සේනානයක අගමැති තුමා යන යන තැන පපුවේ එල්ලාගත් කැමරාවක්ද රැගෙන තොප්පියක්ද පැළඳ පත්‍රයේ පින්තූර වල පෙනී සිටියේය. එහෙමට කෙරුනු වගාවක්ද නොවීය. නිලධාරිහු නුවර එලියෙ ගෝවා මිළට ගෙන පාත්ති වල බොරුවට සිටුවා අගමැතිව රැවටීය. ඔහු එතරම්ම අහිංසකයෙක් විය.
          ඊලඟ මැතිවරණය පැවතියේ 1970 දීය. මිනිසුන් අතර ලොකු උද්‍යෝගයක් විරුද්ධ පක්ෂය වෙනුවෙන් පැවතිණි. නමුත් අපේ ගමේ එක්සත් ජාතික පක්ෂයෙන් කාර්යාලයක්  විවෘත වූයෙන් හවස් කාලය එහි ගත විය. අපට ඩඩ්ලිගේ පෝස්ටර් ලැබුනද කිසි විටෙක ඒවා ගෙදර ප්‍රදර්ශනය සඳහා පියාගෙන් අවසර නොලැබිණි. පියාගේ කඩේදී දේශපාලන වාද විවාද පැවතියද ඒවා උපහාසාත්මක හා සුහද ඒවා විය. කවුරුත් කා සමගවත් අමනාප නොවීය.
         මැතිවරණ ප්‍රතිඵල ඇසීමට ගමේම අය උනන්දු වූහ. පියා, මවව උනන්දු කර කැවිලි පෙවිලි සකස් කලෙන් අපි බලාපොරොත්තු සහගතව පසුවූයේ ඒවායේ රස විඳීමටයි. පියාගේ ආරාධනයෙන් ගමේම අය අපේ රේඩියෝවට කන් දීමට පැමිණියහ. එකල ගම්වල රේඩියෝ දුර්ලභ විය. තිබුනේද වෑල්ව් රේඩියෝ නම් බෙරෙක් සංයුක්ත බැටරියකින් බලය සැපයූ පරණ එකෝ හා ගෘන්ඩිග් වර්ගයේ ජර්මන් යන්ත්‍රයි. දාම් පෙත්, කාඩ් පැක් ආදියද ගෙන රාත්‍රී 9 පමණ වෙද්දී පිරිස පැමිණියහ. බලාපොරොත්තු සහගතව ප්‍රතිඵල ඇසීමට හිඳ ගත්තද, නිකුත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන ප්‍රතිඵල විය. ක්‍රීඩා කරද්දී වුවද, ප්‍රතිඵල  පොරොත්තු වාදනය, ප්‍රචාරය වෙද්දීම කවුරුත් එය නවතා රේඩියෝව වටා රැස්වූහ. මින්නේරිය ආදී ආසන පැරදෙද්දී, පියාට යකු නැග්ගේය. "මුන් වගා සංග්‍රාමය කිය කියා නැහුනට කෝ ඕයි මින්නේරි දෙය්යොත් පරාදයිනේ" කියමින් ඔහු ගොස් නිදා ගත්තේය. උදේ වන විට UNP රජය ආසන 8 ට බැස පරාද විය. තුනෙන් දෙකක බලයක්ද සමග සමගි පෙරමුණු ආණ්ඩුවක් බිහිවිය. අපේ ගෙදරට කිතුල් අතු ඇදලා දමාවි යයි පියා සිතුවද අපට එවන් කිසිම කරදරයක් නොවුනේ ඔහු ඇඟට අරන් දේශපාලනය නොකල බැවිනි.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......