මහජනයා දිනා ගැනීම
                   එය 1994 පශ්චාත් මැතිවරණ සමයයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැතිනිය ලෙස දිවුරුම් දී  ශ්‍රීලංකා නිදහස් පක්ෂ රජයක් බිහිවී තිබුණි. හොරගොල්ල සමාධියේ ආරක්ෂාවට තිබූ පොලිස් මුරපොල ඉදිරිපිට නැවතූ බසයක රියැදුරු නොකඩවා නලාව හැඬවීය. එය හිටපු අගමැති තුමාගේ සොහොනට කරන නිග්‍රහයක් ලෙස සිතූ උප පොලිස් පරීක්ෂක වරයා බසයට නැග රියැදුරුට යම් තර්ජනයක් කලා විය යුතුය. ඔහු ක්ෂණයකින් අසුන මත මැරී වැටුණි. සිරුර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලට ගෙනාවේය.
             මේ නිසා මහජනයා අතර විශාල උද්ඝෝෂණයක් ඇතිවිය. හොරගොල්ල මිනී මරයි,  1971 නැවතත් කරලියට, පොලිස් බල්ලෝ අහිංසක රියැදුරු මරා දමයි, මේකද අළුත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය, වැනි සටන්පාඨ හොරගොල්ල මුරපොල ඉදිරිපිට කියැවිණි.  මහේස්ත්‍රාත් වරයා මරණ පරීක්ෂාවට රෝහලට පැමිණිවිට දහස් ගණනක් සෙනග එහි පිරිණ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් එම පිරිස මෙහෙයවූහ. මහේස්ත්‍රාත් වරයා ආපසු ගිය විගස පොලිසියද අතුරුදහන් විය. මගේ රාජකාරියට සහයෝගය දීමටවත් කිසිවෙකු එහි නොවීය.
               මම පශ්චාත් මරණ පරීක්ෂණය පටන් ගැනීමේ මගක් සෙව්වෙමි. මහජන විරෝධය මටද එල්ලවීමේ තර්ජනය එහිවිය. මරණකරුගේ පවුලේ ලඟම ඥාතින් දෙදෙනෙකුද රැගෙන මම පරීක්ෂණාගාරයට ගියෙමි. ඔවුන්ට, මෙවැනි අවස්ථාවලදී හමුවන හේතු ගැන හැඳින්වීමක්ද කළෙමි. මගේ අනුමානය වූයේ හදිසි හෘදයාබාධයකින් මොහු මිය යාමට ඇත යන්නයි. ඒ පිළිබඳව කියමින් මම උරස හා උදරය විවෘත කළෙමි. ලෙලි නොගැසූ පොල් ගෙඩියක තරමේ හෘදයක් එහිවිය. සාමාන්‍යයෙන් නිරෝගී හෘදයක තරම ඔහුගේ මිට මෙලවූ ප්‍රමාණය විය යුතුය. ඔහුගේ කිරීටක ධමණි පිහියෙන් කැපීමට පවා නොහැකි වූයේ එහි කැල්සියම් හා කොලෙස්ටරෝල් ඝණීභවනය වී තිබීම නිසාය. එය අපේ ව්‍යවහාරයේ Atherosclerotic plaques ලෙස හැඳින්වේ.
          ඇත්තෙන්ම ඔහු මිය ගියේ රෝගී හදවතට පොලිස් නිලධාරියාගේ තර්ජනයෙන් දැනුන ආතතිය නිසා ඇතිවූ හෘදයාබාධයෙනි. මොහු බසය පදවද්දී මේ අනතුර වූවා නම් විශාල විනාශයක් සිදුවනු ඇත. කිසිම තුවාලයක් හෝ අභ්‍යන්තර ලේ ගැලීමක් සිරුරේ නොවීය. මේ නිසා පහර දීමක් එහි නොවීය. මේ වනවිට ඥාතින් දෙදෙන පරීක්ෂණයේ නිරවද්‍යතාව ගැන සැහීමකට පත්වී සිටියෙන් ඉවත ගියෝය. මා පරීක්ෂණය අවසන් කර එලියට එනවිට කිසිදු කෙනෙකු පිටත නොවීය. පොලිසියද නොමැතිව මම ඔවුන්ගේ රාජකාරියද ඉටුකර පිරිස සංසුන් කර ගෙදර යවා තිබුණි. අප රාජකාරිය හරියට කලාට මදිය, මිනිසුන් ඒ ගැන සෑහීමකටද පත්විය යුතුය. නැතහොත් මහජන උද්ඝෝෂණ ඇතිවේ.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......