බනිස් කෑම
           මේ ගැන තරඟයක් වීනම් එදා මම ඒ තරඟය දිනන්නෙමි. මෙය සිදුවූයේ කිතුල්ගලින් කැලණි ගඟ තරණය කර පරවලතැන්න හරහා කන්දක් නැග කිලෝ මීටර් 10 ක් දෙපයින් ගිය තැනවූ කොස්කඳහේනේ දීය. මමත් මහජන සෞඛ්‍ය හෙදි සොයුරියත්, පරවලතැන්න පවුල් සෞඛ්‍ය සේවිකාවත්, තවත් ස්වෙච්ඡා සේවිකාවන් දෙදෙනෙකුත් සමග, මාතෲ මරණයක් ගැන කරුණු සොයා කොළඹ පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයට වාර්තා කිරීමටයි එහි ගියේ. එය දුෂ්කරම ගමනක් විය. එක දිගට කන්දේ නැග යද්දී අනෝරා වැස්සක්ද කඩා වැටින. ජලයෙන් පෙඟුන උස මානා පඳුරු අප ගිය අඩිපාරට කඩා හැළිනි. ඒවාද පීරමින් යද්දී කූඩැල්ලෝද සක්‍රිය වී සිටියෝය. ඉහින් කනින් කූඩැල්ලන් ඇඟේ නගිද්දී උන් කඩා දැමීමටද සිදුවීමෙන් ගමන බාල විය. එක දිගට වැස්සේය. අපිත් පරාජය පිළි නොගෙන ගමන ගියේ වැස්සට නැවතීමට ඒ මහ කැලයේ නිවහන්ද නොමැති බැවිනි. අන්තිමේදී අපි කඩ මන්ඩියකට සේන්දු වූයෙමු. තද ගමන් විඩාව නිසා මාගේ මුළු සිරුරම කම්පනය වන තරමට, හදවතේ ගැස්ම තද වී තිබුණි. එවිට වේලාවද දහවල් දෙක පමණ විය. රුධිර සීනි මට්ටමද බැස ඇති බව අධික බඩගින්නක් දැනෙද්දී සිතුනි. සීතලෙන් අපි සැවොම වෙව්ලද්දී, එම කඩේ කෑමට යමක් සෙවූ අපිට හමුවූයේ ඩබල් බනිස් පමණි. එක හුස්මට බනිස් 6ක්ම කෑවෙමි. අප බනිස් කෑ විලාශය දුටු කඩේ මුදලාලි අනුකම්පාවෙන් කීවේ "මහත්තයලා රාජකාරිය ඉවරවෙලා එන්න! මං ගෙදර බත් ටිකක් උයලා තියන්නම්!" කියාය. ඇත්තෙන්ම ඒ ගමට කිසිම රජයේ සේවකයෙක් එතෙක් පැමිණ තිබුණේ නැත. ග්‍රාම සේවක, පවුල් සෞඛ්‍ය සේවිකා ආදීන් කරනුයේ යාබද ගමේ පාසලට පැමිණ, සේවා අවශ්‍ය අයට එහි පැමිණෙන ලෙස පණිවිඩ යැවීමයි.
              අප එම නිවසට යනවිට පියා දරුවන් 4දෙනෙකු සමග කුස්සියේ ලිප ලඟ වාඩිවී කැඳ හැලියක් ලිපේ තබා හැඳි ගාමින් සිටියේය. කුළුඳුල් දරුවාද ඔහුගේ ඇකයේ විය. ලමයි සීතලට ගින්දරට තුරුළු වෙමින් සීතල මැඩ ගැනීමට දෙඅත් පපුවේ බැඳගෙන, කැඳ හැලිය ඉදෙන තෙක් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන උක්කුටයෙන් සිටියෝය. එය ගෙයක් නොව කටුමැටි පැලකි. කුස්සියද එහිම කොනක විය. අසරණ බවේ පතුලටම ගිලී ගිය ඔවුන්ගේ ඇඳුම් ගොමස්කඩම විය. කුලියක්ද කර ගත නොවුනේ කඩා හැලෙන වැස්සත්, කිරි දරුවාත් නිසාය. මව 5 වන දරුවා ලැබීමට දැරණියගල දිසා රෝහලට ගොස් තිබුණි. ප්‍රසූතියෙන් පසු ගෙදර පැමිණ දින කීපයකින්, උණ හා රුධිර වහනයෙන් පසු නැවත රෝහලට ඇතුලත් කරද්දී මියගොස් තිබුණි. ඔවුන්ට අපි සම්මාදමක් දමා මුදලක්ද දී ආපසු පැමිණියෙමු. 
           මුදලාලි අපිට දුම් දමන බතක්ද, සැමන් මාලුවක්ද අල හා පරිප්පු ව්‍යාංජනද සකසා තිබුණි. සීතලේ ගැහෙමින් සිටි අපි බඩ පුරා බත් කෑවෙමු. බොහෝ තොරතුරු කථා කරමින් සිටිනාතුර මුදලාලි මගේ සටහනක්ද සමග පණිවිඩ කරුවෙකු ආපසු ජීප් රථය කරා යවා තිබුණේ අපට ආපසු ගමන පහසු කරවීම සඳහා එය කරවනැල්ල, දෙහිඕවිට, දැරණියගල හා නූරිය හරහා අප සිටි කඩේට ගෙන්වීම සඳහාය. ඔහුගේ ආගන්තුක සත්කාරය ගැන අපට පුදුම සිතුනි. ඔහුට, අපේ පැමිණීම ගෞරවයක් වී තිබුණි. එදා ගම් වල තත්වය එතරම්ම නොඉඳුල් වී පැවතිණි. එදා සමාජයේ තිබූ දරිද්‍රතාවය සියැසින්ම දුටු බැවින් මට අනුවේදනයක් සහිත යහපත් වෛද්‍යවරයෙකු වීමට හැකියාව ලැබුණි. අද කාලයේ වෛද්‍යවරුන් අතර අනුවේදනය දුර්ලභය. ඔවුන්ට රෝගීන්ගේ දුක් ගැහැට තේරුම් ගැනීමට අවශ්‍යතාවක් ඇති බවද නොපෙනේ.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......