ලණු දීම හා ලණු කෑම --
                ජීවිතයේ ලණුදීම හා කෑම එක් අංගයක් වේ. මැතිවරණ කාලයට දේශපාලකයෝ විවිධ පොරොන්දු ලෙස ලණු දෙති, අපි ලණු කමු. යහළුවන් අතර මෙය සුලභය. අපේ ගමේ විජේපාල එසේ ලණු කන අයෙකි. දැන් ඔහු විගණන අධිකාරි වරයෙකි. දැන් නම් ඔහු එසේ නොකරනු ඇත. ඔහුගේ කොණ්ඩය ඉත්තෑකූරු මෙන් පිහිටා ඇති නිසා, හීනමානයක් විය. අප කීවේ ආනමාළු කෙසෙල් පොල් පැණි සමග අනා ගෑවිට කොණ්ඩය හරියන බවයි. ඔහු වැඩේ හරියටම කර අව්වේද සිටියේ වැඩේ ඉක්මණින්ම කෙරෙන්නටය. ඔහු ගැන අනුකම්පා කල අයෙකු පහරක් ගසා නෑමට ඔහුව නොයැවුයේ නම් කොණ්ඩය බූගෑමට සිදුවනු ඇත.
               මගේ batch mate කෙනෙකුද එසේ ලණු කෑවේය. නේවාසිකාගාරයේ කෑම මේසයේදී ඔහු නිකමට I am having a chest pain කියා කීවේය. දෙවන වසරේ සිටි ඔහුට අන්තිම වසරේ සිටි හේමන්ත කීවේ Don't know machan whether it's phimosis, go & check at UMO කියාය. phimosis යනු ශිෂ්ණයේ පෙරසම පිටුපසට ගැනීමට නොහැකි වන රෝගය කියා අපි දැන නොසිටියෙමු. නමුත් හේමන්ත අපිට කීවේ ඔහුව follow කරන මෙනි.
           දිවා විවේකයේදී මිතුරා විශ්ව විද්‍යාල වෛද්‍යවරයා හමු වීමට ගියේය. අපි ඔහුට නොදැනෙන්නට පසු පසින් ගියෙමු. සංවාදය මෙසේය. "Sir, I am having a chest pain. Don't know whether it's phimosis, know?" වෛද්‍යවරයා මෙසේ ඇසීය. Which year are you?. මිතුරා කීයේ දෙවන වසරේ බවයි. ඉන් පසු වෛද්‍යවරයා පැල් බැඳගෙන ඔහුට බණින්නට විය. "That's the problem, you buggers are thinking too high about this proffession. You dont know any damn thing about meaning of these terms & using them irresponsible way!" එලෙස කියා ඔහුව එතනින් පන්නා ගත්තේය. හවස තේ මේසයේදී නම් අපි එහි තේරුම නිවැරදිව ඉගෙන ගතිමු!
මගේ වෛද්‍ය පීඨයේ කණ්ඩායම් සගයා ගැන කොතෙක් කීවද අවසානයක් නැත. නමුත් මිත්‍රකම නිසා ඔහුගේ නම සඳහන් නොකර මෙසේ කථා කියමි. ඔහුගේ හිත හොඳ නමුත් කුමක් හෝ හේතුවකට මොළයේ දකුණු අර්ධ ගෝලයෙන් කිසිම වැඩක් නොගනී. ඒ නිසා full serious ලෙස මෝඩ වැඩ කලේය.
                      අපේ නේවාසිකාගාරයේ අපට පෙර සිටි අපවත් නොදන්නා පරණ සගයින් විවාහ වනවිට සිරිතක් ලෙස මංගල ඇරයුම් පතක් එවයි. කිසිවෙක් මෙය ගණන් නොගනී. නමුත් අපේ මිතුරාට දිනක් මෙවැනි ඇරයුම් පතක් අතට ලැබුණු දින, අපෙන් ඇසුවේ දැන් කවුද මේකට යන්නේ කියාය. ඔහුට දිරච්ච ලණුවක් දීමට දැන් කදිම අවස්ථාවකි. "උඹේ අතටනේ ලැබුණේ, උඹම පලයන්" කියා කට්ටිය ඔහුව දිරිමත් කලේය. වාසනාවට උත්සවය ඇත්තේ අපේ නිවහන ඉදිරිපිටවූ "ඕල් සේයින්ට්ස්" පල්ලියේ සෙනසුරාදා දවසකය.
             නියමිත දින නිවාඩු දිනයක් බැවින් ඔහු උදේම ටයි කෝට් හැඳ පැළඳ උදේම පල්ලියට ගොස් ගේට්ටුව ඉදිරිපිට සිට ගත්තේය. නැකැත් දවසට නොකඩවා පල්ලියට මංගල ජෝඩු එති, විවාහවී යති. තවමත් අපේ මිතුරා එම එන යන ජෝඩු දෙස බලමින් ඔහුට කථා කරතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටී. මෙසේ දවල් 1.30 පමණ වන තෙක් ඔහු නොඉවසිල්ලෙන් සිටියේය, දැන් අපේ නිවහනේ දිවා ආහාරද අවසන් වීමට ආසන්නය. මම ගොස් ඔහුව කැඳවාගෙන ආවෙමි. ඔහු බොහෝ තෙහෙට්ටු වී සිටී. ඒ බඩගින්න හා අව් රස්නය නිසාය. හැරත් ටයි කෝට් ඇඳ සිටි බැවිනි.
      ඔහු කෑම කන අතරේ මම ඔහුගේ විශ්ලේෂණ චින්තනය අවදි කලෙමි. "දැන් උඹ දන්නවාද ඔය හොස්ටල් ගජයාව?"  පිළිතුර - නැත. "එහෙනම් උඹ දන්නවා වගේ ගිහින් හිටියේ?" "උඹලනේ මට කිව්වේ hostel represent කරන්න කියලා!" "ඉතින් උඹ කොහොමද හරියටම අදාල කපල් එක දැන ගන්නේ?" "උන් මට ඇවිත් කථා කරයි කියලා හිතුවේ" "ඉතින් උන් උඹව දන්නවාද?" එවර ඔහුට විශ්ලේෂණය පහල විය. "ආහ්! දන්නේ නැහැ නේන්නම්!"
               " මීට පස්සේ ඔය වගේ ගොන්කම් කරන්න එපා" කියා මම මගේ කාමරයට ගියෙමි.
                   ඔහුගේ සොහොයුරා එකල මැද පෙරදිග සේවය කරමින් සිටියේය. එකල එහි සිට එවන කුමන භාණ්ඩය වුවද බොහෝ වටී. එවර ඔහුට එව්වේ "7 UP" ලාංජනය සහිත කොළ පාට කොලර් නැති T shirt එකකි. ඔහු බොහෝ උජාරුවෙන් මෙය මිතුරන්ට පෙන්වීය. එකෙකු ලණුවක් දුන්නේ එය ද සොයිසා රෝහලේ සවස පැවැත්වෙන proffessorial ward class එකට හැඳගෙන යාමට නම් කදිම බවයි. ඔහු වහාම එදා සවස පන්තියට එය හැඳගෙන ගියේය. කවුරුත් එයට සහභාගී වන්නේ කලිසම් කමිස ඇඳ සපත්තු පැළඳ ගෙනය. මොහු ඒ මදිවාට රබර් සෙරෙප්පු යුවලක්ද පැළඳ එයට සහභාගී වනු මහාචාර්ය වරයා දැක්කේය. ඔහුගේ බඩ අතින් ග්‍රහනය කරගෙන දෙතුන් වරක් එහාට මෙහාට අපේ මිත්‍රයාව ඇද ඇසුවේ "Have you come on a picnic? Is that how you come for a ward class" කියාය.  ඔහුව එලවා දැමූ මහාචාර්ය වරයා අපේ මිතුරාගේ පන්තිද සති 2කට තහනම් කලේය. කනවා කියා ඔහොමත් ලණු කන සිරිතක් වේද?

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......