පොළඟුන් සමග හෝරාවක්
       නිවාඩු කාලයට අපිට තටු මැවේ. වෛද්‍ය පීඨයේ ඉගැනුම ඉතා ආතතිකාරී අත්දැකීමකි. දේශණ, රෝගී පරීක්ෂා, හා අවසානයේ විභාග, ලමුන්ව නොමරා මරති. මෙවර අපි ගියේ නැගෙනහිරටයි. අපේ නඩයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු නොවූ, එකම ව්‍යාපාරික මිතුරා වූ ප්‍රේමතිලක සංචාරය සංවිධානය කලේය. ඔහුට මිතුරන් බොහෝය. ඛණිජ තෙල් සංස්ථාවේ නැගෙනහිර දිසාවේ කළමණාකරු වූ මිතුරා බොහෝ බරපැන දරා තිබුනි. රාත්‍රී තැපැල් දුම් රියෙන් අපේ නඩය පිටත් විය. මගේ අපූරු මිතුරා වූ සුගත්ද අප සමග විය. එකල ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු වලින් මිදී සිටියේය. රාත්‍රිය පුරා සිංදු කියමින් මැදිරිය දෙවනත් කල අපි චීන වරාය දුම් රිය පොලෙන් බැස ගත්තේ උදේ 5 ට පමණය. මිතුරා වාහනයක් එවා තිබුණි. පුදුම බඩගින්නකින් පිරිස පෙළුන බව දැනුනේ, මිතුරාට දෙවන වරටත් අප සඳහා පාන් හා පරිප්පු පිළියෙල කිරීමට සිදුවූ බැවිනි. 
      හොඳට නිදාගත් අප උදේ ඇහැරුනේ නැවක් ත්‍රිකුණාමලයට එපිටින් මුහුදේ ගිලෙන බව තවත් මිතුරෙක් වූ ඩොක්‍ යාඩ් මිතුරා ප්‍රේමතිලකට දැනුම් දුන් බැවිනි. ඔහු එහි ඉංජිනේරුවෙකු විය. අපේ නඩයට එහි යාමට ඉස්පාසුවක් නොවීය. අපි බෝට්ටුවකින් එහි යන විටද, නැව ගිලීමට ඉඩ නොදී අළුත්වැඩියා කරමින් සිටියේ ඩොක් යාඩ් මිතුරාගේ කාර්මික නඩයයි.  බඩු නැවක් වූ එය කුනාටුවකට හසුවීමෙන් මෝටර් රථ බැඳ තිබූ රැහැන් කැඩී, හැචස් බිත්තියේ වැදීමෙන් බඳ කැඩී අළුත් මෝටර් රථ මුහුදට වැටී තිබුණි. ඉතිරි ඒවා තැලී මිරිකී තහඩු බවට පත්වී තිබෙනු දැක අපට ලෝභ සිතුනි. ආපසු පැමිණ දිවා ආහාරයෙන් පසු ත්‍රිකුණාමලයට පැමිණ අපේ නඩයේ මිතුරෙකු වූ අවසාන වසරේ ශිෂ්‍ය විජේසූරියගේ (රාළහාමි) බාප්පාගේ හෝටලයේ නතර වීමු. එය පිහිටියේ නගර මධ්‍යයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිටයි. හවස කොටුවට ගොස් විනෝදවී කොරියන් කණ්ඩායමක් සමග වෙරළේ කෝක් බීවෙමු. ඔවුහු එකල ප්‍රීමා පිටි කම්හල ගොඩ නගමින් සිටියහ.
       පසුවදා කුච්ච්වේලි, නිලාවැලි ගොස් විනෝදවී සවස ගෝමරන්කඩවල උප දිසාපති මිතුරාගේ නිල නිවාසයේ නැංගුරම් ලෑවෙමු. රාත්‍රී මධුවිතෙන්ද සප්පායම් වී කෑම කා නිදාගෙන පසුවදා නීල කඩිත්තන් වැවේ ඔරු පදින්නට ගියෙමු. අපේ නඩේ සුගත් (සුගතන්) නාහෙට නාහන්නෙකි. පතුලේ මඩේ තදින් එරෙන බැවින් මොනම හේතුවකටවත් වැවට නොපනින ලෙස තොටියා කොපමණ අවවාද කලත් ඔහු වැව මැදදී මොරාල් එක වැඩිවී දියට පැන පතුලේ නොපෙනී ගියේය. ඒ සමගම අපිද දියට පැන්නෙමු. සමතුලිත බව ගිලිහී ඔරුව පෙරලිනි. තොටියා ඔරුව හරි අතට පෙරලා ගැනීමට සටන් කරද්දී අපි කිමිදී සුගත්ව සෙව්වෙමු. ඔහුගේ හිස මඩේ එරී ඔහු ඉන්නක් ලෙස සිටියදී අපට හමුවිය. මිතුරා ගලවා ගත් අප මහත් වෑයමෙන් ඔහුව ඔරුවට ගෙන ප්‍රථමාධාර දුනිමු. මඩ කැවී පෙවී සිටි ඔහුව ඔරුව තුල මුනින් අතට බිම දමා පාගා මඩ ඉවත්කර කෘතීම ශ්වසනය දී, හදවත සම්බාහනය කර, පණ ගතිමු. ගොඩට පැමිණි මිතුරෝ ඔහුට හොඳ හැටි බැට දුන්නේ අප මුහුණ පෑ අනතුරේ බිහිසුණු කම නිසා උපන් ආතතිය පහ කර ගැනීමටත්, නොහික්මුණු ඔහුට දඬුවමක් ලෙසටත්‍ විය. ඊලඟ අනතුර අත ලඟම විය. වැව් ඉවුරේ හිඳ හති හලද්දී සර සර හඬට, මා එදෙස බැලූවිට දැක්කේ අපව ඉලක්ක කරගෙන දරදඬු වී සිටි දාර පොළඟෙකි. වහා අනතුරු හඟවා ඉවතට පැන පොලු ගෙන පොළඟාට හොඳින් "සළකා" නිහඬ කලෙමු. ඌගේ දිග අපේ පීරිස්ට වඩා වූයෙන්, මිටි පීරිස් ලඟ ඌ ඔසවා සුදු කළු පින්තූර ගත්තෙමු. අනතුරු දෙකකින් විඩාපත්වී සිටි අපට එදා දහවල ආහාරයේ රස දැනුනේද නැත.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......