බාලයින්ගේ ලෝකය
             දරුවන්ගේ ලෝකය සුන්දරය. එය දූෂණය කරන්නේ වැඩිහිටියන්ය. මගේ දෙවෙනි දුව කුඩා කල සිටම තීක්ෂණ නුවණකින් යුතුවිය. අක්කාටත් නංගීටත් ප්ලාස්ටික් මුදල් කැට දෙකක් ගෙනැවිත් දී මුදල් ඉතිරි කිරීමට පුරුදු කලෙමු. නමුත් නංගීගේ කැටේ මුදල් නිතරම කවරෙකු හෝ සොරකම් කලේය. මෙය ඇය විසඳා ගෙන තිබුණේ අමුතුම අයුරකිනි. එනම් නිල නිවාසයේ උස බිත්තියක තිබූ හුලං කවුළුවක් මත, තම කැටය තැබීමෙනි. ඇයගේ උස අනුව එවැනි උසකට ඇයට ලඟා වීමට හිතන්නටවත් නොහැකිය.
         මා ඇයගෙන් ඇසුවේ කෙසේ එවන් උසක කැටය තැබුවේද කියාය. ඇය අක්කා දිහා හොරෙන් බලා කීවේ එය රහසක් බවත්, දැන් ඉතින් කැටේ කාසි සොරකම අවසන් බවත්‍ විය. මා ඇයට කීවේ එය තැන්පත් කල ආකාරය හොරෙන් මට පෙන්වන ලෙසයි. ඇය පුටුවට නැග, මේසය මත නැංගාය. ඉන්පසු පුටුව මේසය මතට ගෙන, නැවත පුටුව මත නැග, පාද වල ඇඟිලි වලින් ඉස්සී කැටය ආපසු ගෙන මට පෙන්වූයේ කිසිම චකිතයක් නොමැතිවය. එය අනතුරු දායක වූයේ ඇය ඒ වනවිටත් අවුරුදු 4ක කුඩා දැරියක් බැවිනි! නමුත් ඇයගේ උත්සාහවන්ත බව හා උපායශීලි බවද, කිසිවෙකුට පරාජය වීමට ඇති අකැමැත්තද මොනවට පෙනුනි. දැන් ඇය උපාධි ලත් සැළසුම් ශිල්පිනියකි.
                 මගේ නංගීගේ යාබද නිවසේ කුඩා දරුවාට නැකතට අකුරු කියවීමෙන් පසු ඔහුගේ මිත්තණිය දැඩි ආඩම්බරයට පත් විය. නිවසට අමුත්තෙකු එන ගානේ මේ නිසා ඔහුට හෝඩි පොත ගෙනැවිත් අමුත්තා ඉදිරිපිට ආච්චීට අයන්න පෙන්වීමට සිදුවිය. ඇය ඉන් සතුටු වූයේ දැන් මුණුපුරා දැන උගත් දරුවෙකු බැවිනි. නමුත් දරුවාට මෙය මහත් කරදරයක් වූයේ, මිතුරන් සමග කරමින් සිටින සෙල්ලම මැදදීද, අමුත්තෙක් ආවොත් ආච්චීට, පොත ගෙනැවිත් අයන්න පෙන්වීමට සිදුවූ බැවිනි.
                       දිනක් ඔහු සෙල්ලම් කරන අතරේ, ආච්චී, "අනේ පුතේ මට අයන්න පෙන්නාපන්" කියමින් පරණ තැටිය වාදනය කලාය. මේ නිසා එදානම් ඔහුට හොඳටම තරහ ගියේය. ඔහු හුන් තැනම සිට මෙසේ කෑ ගැසුවේය. "මොන කරදරයක්ද බාන්! තාම උඹට අයන්න මතක නැද්ද? දැන් මං කී දවසක් ඕක පෙන්නුවාද? අර පොත අරන් බලා ගනින්කෝ!. මුණුපුරා සිතා ඇත්තේ ඇයට කොයි තරම් පෙන්නුවද අයන්න අමතක වන බවයි!
                 මොන්ටිසෝරියක ගුරුතුමිය, දරුවන්ට අළුත් ගීතයක් ඉගැන්නුවාය. ගෙදර ගිය පසු බාල නංගිලා මල්ලිලාටද එය උගන්වා එකට ගායනා කරන ලෙස නියම කලාය. නමුත් එක් දරුවෙක් කීවේ "අනේ, ටීචර් මට ඒක නම් කීයටවත් කල නොහැකි" බවයි. ඇය ඊට හේතු විමසුවාය. ඔහු සැම සිනහ ගන්වමින් කීවේ "ඕක දැනටමත් අපේ මල්ලී ගෙදරදි කියනවනේ!" කියාය. ගුරුතුමිය කියාදී ඇත්තේ පරණ ගීතයකි!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......