අපේ ගම
                එකල අපට ආඩම්බරයෙන් අපේ යයි කිව හැකි ගමක් විය. එය වාසයට කොපමණ සුවදායක වීද යත් අකල් මරණ වාර්තා නොවීය. සනීපදායක පොල් අතු වහලින් ගොම ගෙබිමෙන් යුත් නිවාස සිරිදුව වසන දෙව්ලොවක් විය. මේ නිසා මිනිසුන් අකළට මහළු නොවීය. මිනිසුන් රෑබෝ වීගෙන එන විට, විදුලි පහන් දල්වා ගෙන රෑට රෑවෙන තුරු නිදි නොමැරූ බැවින්ද, හොඳ නිදහස් සුවදායක නින්දක් ලැබුණු බැවින්ද ඔවුන්ගේ සිරුරේ මුක්ත ඛණ්ඩක ප්‍රමාණය අල්ප වීමෙන් වයඃ කළ්‍යාණය රැකී, බරපතල රෝගාබාධ නොමැතිව පරමායුෂ ගත කෙරිණි.
                 සෑම නිවසක්ම උස්වූ භූමියක වෙලක් ආසන්නයේ තුරුවදුලු මැද පිහිටි හෙයින්ද, ඔක්සිජන් සහිත හොඳ වාතාශ්‍රයක් ලැබුණු හෙයින්ද, නැවතත් මුක්ත ඛණ්ඩක නොමැති හෙයින්ද දීර්ගායුෂ අත් වින්දෝය. ඔවුනට සෙමරෝග නොමැතිවූයේ වාහන හා කම්හල් වලින් පිටවූ දූෂිත වාතයෙන් පෙනහළු  දුර්වල නොවූ නිසාය. සමේ රෝග නොමැතිවූයේ කෘතීම ඇඳුම් නොඇඳි නිසා හා දහඩිය උරන, අවම ලෙස ආවරණය වූ කපු ඇඳුම් ඇන්ද නිසාය.
               කවුරුත්, ස්වභාවික, පිරිපහදු නොකල, පළිබෝධ හා වල් නාශක නොමුසු, කෘතීම පොහොර නොගැසූ ආහාර ගත් නිසාද හා කය වෙහෙසා වැඩ කල නිසාද, අධික රුධිර පීඩනය, දියවැඩියාව ගැන අසන්නටවත් නොවීය. කාන්තාවන්ට ගෙදර දොරේ සේවිකාවන් නොවූ බැවින් දියට හා දරට යාම, කුස්සියේ වී කෙටීම, මිරිස් ඇඹරීම යනාදිය කිරීමට සිදුවීමෙන්, නිතඹ හා පපුව හැඩවූ, තරබාරු නොවූ, වයඃ කළ්‍යාණයෙන් යුත් ස්වභාවිකව කාන්තිමත් වූ සිරුරු අයිති විය. කාටවත් scooters හෝ motor cycles නොතිබූ බැවින් කවුරුත් කුඹුරට කඩපිලට, පාසලට පයින්ම ගිය නිසා, නැත්නම් පා පැදිය භාවිතා කල නිසා, තරබාරු කම නිසා ඇතිවන රෝග 35 කින් පමණ බේරුණි. කවුරුත් පයට පාවහන් නොපැළඳි නිසා පතුලේ ස්වභාවික Arch හැඩය ආරක්ෂා වූ බැවින්, Extensor tendinitis or plantar facitis වැළඳී එක්තැන් නොවීය. 
              වාසනාවට මෙන් තරඟකාරීව එකිනෙකා පරයා පොහොසත් වීමේ උණක් නොතිබූ බැවින්ද, ගමේ සරල පන්සලෙන් අවශ්‍ය අධ්‍යාත්මික ගුණවගාව හා විමුක්තිය ලැබුණු බැවින් කවුරුත් නිවිහැනහිල්ලේ ජීවත් විය. මේ නිසා කාටවත් බරපතල මානසික රෝග නොවීය. ගමේ දැනමුත්තන්ට කවුරුත් ගරු කලේ පොහොසත් නිසා නොව ඔවුන්ගේ අත්දැකීම් සමුදාය කාටත් තම ජීවිත වලට, ගොවිතැනට මහෝපකාරී වූ නිසාය. දේශපාලන උණක් කාටත් නොවූයෙන් ගම සාමකාමී විය. සුළු මානසික ප්‍රශ්ණ, ගමේ වෙදරාලද කට්ටඬියාද වූ වියෝලිස් මාමා විසින් දෙහි කපා, නූලක් බැඳ, තෙල් සාත්තුවක් කර සුව කලේය. වාර්ෂිකව පැවැත්වෙන අවුරුදු උත්සවය, කඨින පින්කම, කා අතරත් සමගිය හා සහජීවනය ඇතිකල බැඳීම විය. කවුරුත් කිසිම භේදයක් නොමැතිව ගොවිපලේදී, මරණ හා මඟුල් ගෙවලදී, අසනීපයකදී මීමැසි පොදියක් මෙන් වටවී දහසක් වැඩ රාජකාරි නොමිළේම කර දුන්හ. Team work ප්‍රීතිය නිසා කාටවත් විඩා නොදැණුනි. එක් වතාවක් දරුණු නියඟයක් නිසා ගොවිතැන් පාලුවී "දෙය්යන්ගේ ලෙඩ" නමින් හැඳින්වූ පැපොල, සරම්ප රෝගීන් බහුල වූ බැවින්, පොරපොල් බිඳ, ගමේ යාගයක් පැවැත්වුණි. මෙය අපට සතුට උතුරා ගිය අළුත් අත්දැකීමක් විය. කවුරුත් අවසානයේ සර්ව රාත්‍රික පාරම්පරික නැටුම් නරඹා උදේ, මුරුතැන් බත්, හැඳි කැවුම්, කෙසෙල් ගෙඩි වැනි ආහාර වලින් සප්පායම් වී සතුට සැමරූහ. අධික බෙර හඬ නිසා උදේ වනවිටම වැසි වැටී නියඟය දුරු විය. අසනීපද මැකී ගියේ දූවිල්ල හා දූෂිත වාතය සේදුනු බැවිනි. අධි සාන්ද්‍රණයෙන් යුත් අරක්කු, විස්කි වෙනුවට වැඩිහිටියෝ හවසට පාවිච්චි කලේ කිතුල් ගහේ ස්වභාවික රාය. ඔවුහු ළමා අපිට නොපැසූ තෙලිජ්ජ දුන්නේ සමාජ විෂමතාවක් ඇති නොවීම පිණිසය. එය වීරකමක් ලෙස බාලයෝ නොසිතූහ.
            ජීවන සටන සරල විය. කාටවත් සා පිපාසාවෙන් ඉන්නට ඉඩ නොදුන්නේ ගමේ කොස් දෙල්, අල බතලය. නැති බැරි අයට ඇති හැකි අය තම අස්වැන්නෙන්ද සෑහෙන කොටසක් දුන්හ. කඩෙන් ගන්නට සිදුවූයේ කුළුබඩු තුනපහ හා ලුණු, කරවල, තේ කොල සීනි පමණි. හොඳම කිතුල් හකුරු සෑදූ බැවින් සීනි භාවිතයද අවම විය. පාසල් ළමුන්ට දිවා විවේකයට, බනිස් හා ඇදිහැස කිරි නොමිළේ සැපයූ බැවින් දෙමාපියන්ගේ හිතට  ආහාර ගැන අමතර බරක් නොවිය. පාසැලේදී ශතයට කෑ චින්තාමණී කඩල ගොට්ටේ රස මට තාමත් මතකය. ඒ මා කිරි හා බනිස් නොගත් නිසාය. මගේ දිළිඳු යහළුවෝ එයට වග කිව් නිසා එය අපතේ නොගියේය.
              ඔබටත් දැන් මෝටර් රථයක් ඇති නිසා එයින් නගරය හා සම්බන්ධ විය හැකි නිසා ආපසු ගමේ පදිංචියට යමුද?

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......