පවතින තත්ව වලට අනුගත නොවීම
අපේ මිනිසුන් බහුතරය, පවතින තත්ව වලට අනුගත වේ. ඒ නිසා ඔවුන්ගෙන් සමාජයට කිසිම කරදරයක් නැත. නමුත් සාමාන්‍ය දැනීම (Common sense) නොමැති කාණ්ඩයක් සිටී. ඔවුන්ට සමාජයේ පවතින තත්ව වලට සීරුමාරු විය නොහැක. ප්‍රංශ ඇන්ටනට් බිසවගේ ප්‍රසිද්ධ කියමන සිහි කරන්න. පාන් ඉල්ලා මිනිසුන් මාළිගාව ඉදිරිපිට උද්ඝෝෂණ කරද්දී ඇය කීවේ "පාන් නැත්නම් කේක් කාපල්ලා" කියාය!
අප දරුවන් තැනිය යුත්තේ ඔවුන්ට සෑම දෙයක් ගැනම සාමාන්‍ය දැනීමක් ලැබෙන ආකාරයටය. මේ සඳහා ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීමට සාධාරණ අවස්ථා ලබා දිය යුතුය. දැන් දෙමව්පියෝ සියළුම එවන් අවස්ථා අහුරා දරුවන්ව සීමාව ඉක්මවා ප්‍රවේශම් කරති. අප කුඩා කල දරුවන්ගේ දණහිස් වල අනිවාර්ය පැරණි තුවාල කැලැල් ඇත. නමුත් දැන් දරුවන් එළිපහලියේ සැරි නොසරන බැවින් වැරදිලාවත් වැටීමේ කිසිම සම්භාවිතාවක් නොමැත. එනිසා එවැනි කැලැල් නොමැත. ඉතින් කෙසේ ඔවුන්ට අත්දැකීම් ලැබෙන්නද?
තමාගේ වැඩ තමාටම කර ගැනීමට ඉඩ දීම හොඳම විසඳුමයි. (Self help skills). අවාසනාවට මෙන් මව් වරු, තමාගේ කාර්‍යබහුල බව නිසා මේ සඳහා කිසිම අවස්ථාවක් නොදේ. මෙහි ආදිනව පෙන්නුම් කරන්නේ තරුණ වයසේදී විවාහයෙන්ද පසුවය. අසරණ සැමියෙක් හෝ බිරිඳක් මේ සඳහා වන්දි ගෙවයි. එම සැමියන්ට තේ කෝප්පයක් -වත් තනියෙන් සාදා ගැනීමට නොහැක. එසේ වෑයම් කරන්නට ගියත් පියවරෙන් පියවරට බිරිඳගෙන් උපදෙස් විමසයි. එම කන්දොස්කිරියාව විඳීමට වඩා තේ එකක් සාදා දීම ඇයට ඊට පහසුය.
සමහර බිරින්දෑ වරුන්ද එසේමයි. පොල් ගෙඩියක් ලෙලි ගසා ගැනීමටවත් නොහැක. සැමියා මතම රැඳීමට සිදුවී ඇත. මේ නිසා තම ගෙදර කටයුතු වල කාර්‍යක්ෂමතාව අඩුවේ. වැඩ කල් දැමීමටද සිදුවේ.
මොවුහු සමාජයේදී ගැවසෙද්දීද සම්මත හා අසම්මතයන් ගැන වග විභාගයක් නොමැතිව හැසිරෙති. සුළු දෙයක්වත් අනුමාණ කල නොහැක. (Prediction) මේ නිසා අවඥාවට හා ගර්හාවට පත් වෙති. කෝලමුන් බවට පත්වේ. අතිශයින් කලබල වේ. සමහරවිට සමාජශීලිද නොවේ. ගැටුම් වලට අනවශ්‍ය ලෙස මැදිවේ. හාස්‍යයට අකැමතිය. (Too serious).මේ නිසා සමාජයේ කොන්වේ.
මොවුන් හා වාද කිරීම අර්ථ ශූන්‍ය වේ. ඔවුන්ව අනුවේදනය කල යුතුය. ඔවුන්ට යම් ඉඩ කඩක් ලබා දෙන්න.
Comments
Post a Comment