වියෝව --Grief reaction
             යාබද ගමක දරුවෙකු මව සමග මාර්ගයේ ගමන් කරද්දී පාර පැත්තෙන් රැගෙන ගිය මොන්ටිසෝරි දරුවාව බස් රථයකට යටවී එතැනම මිය ගියේය.  ශෝකජනක සිදුවීමක් නිසා බොහෝ අය මරණ ගෙදර ආහ. දරුවාගේ මොන්ටිසෝරි යහළුවන් සමග මව සිනාසෙන්නටත්, විහිළු කරන්නටත්, සංග්‍රහ ආදියේ යෙදෙන්නටත් පටන් ගති. දරුවාගේ මරණයට මවද එක් අතෙකින් වගකිව යුතු බැවින් බොහෝ අයට මෙය අදහා ගත නොහැකි සිද්ධියක් විය. මව කටයුතු කලේ තම එකම දරුවා නොමළ ලෙසටයි. මන්ද යත් දරුවාගේ මෘත ශරීරය සාලයේ තැන්පත් කර තිබූ බැවිනි. මෙසේ හැසිරීමට හේතුව කුමක්ද?
               මෙය මනෝ හිරිවැටීම (psychic numbness) ලෙස හැඳින්වේ. ආදරණීය කෙනෙකුගේ වියෝවකදී අපට පළමුව එය පිළිගැනීමට නොසිතේ. (Denial). මේ නිසාය ඉහත කියූ මව සිනාසෙමින් සතුටින් මරණ ගෙදර ආ අය පිළි ගනිමින් වතාවත් පැවැත්වූයේ.ඉන් පසු තමා, හෝ අන් අයෙකු හෝ රෝහලේ අය කෙරේ ක්‍රෝධය පල කරයි. (Anger).
 ඉන්පසු මරණය වලක්වා ගැනීමට නොහැකි බවට හේතු සාධක ඉදිරිපත් කර හිත සනසා ගනී. (Bargaining). මතක වස්ත්‍ර පිදීම, දිවියේ අස්ථිර බව මෙනෙහි කිරීම, වෙස්සන්තර ජාතකය ගැයීම වැනි දේවලින්ද මෙය ශක්තිමත් වේ. මියගිය අය තමා සමග ජීවත් වෙතියි වසර ගණන් විශ්වාස කරමින් සිටින අයද සිටිති. මෘත ශරීරය නිවසෙන් ඉවත් කිරීම හෝ පැමිණ සිටි අය පිටවී යාමත් සමග ඇතිවන හුදකලාව, වියෝව දැනීම හා අතීත කාමය තුල මානසික අවපාතය හට ගනී.(Depression). පසුව ක්‍රමයෙන් හිත හදා ගැනීමත් අනෙකුත් රාජකාරිත් කාලය ගත වීමත් සමග, එම වියෝව පිළි ගැනීමට පෙළඹේ.(Acceptance)
        මෙම අවධි පහේ කාල සීමාවන් අඩු වැඩි වීම මත, අසාමාන්‍ය ලෙස දැනෙන සිදුවීම් දක්නට ලැබේ.  සමහරුන්ට මානසික අවපාතය කලින්ම පැමිණේ. සමහරු එයින්ම සිය දිවි නසාගනී. සමහරුන්ගේ Benumbed period දික්වේ. සමහරු මාස ගනන් ක්‍රෝධය පිරි මහී. තමාගේ Guilty mind නිසා ඒ ගැනම කියමින් ලතවේ. සමහර මසුරු අය පවා වියෝ දුක තුනී කර ගැනීමට විශාල පුණ්‍ය ක්‍රියා වලට පෙළඹේ. සමහරු තෘෂ්ණාව සහමුලින්ම නැති කර ගනී. අප පුවත් පත් වල කියවන පුණ්‍ය අනුමෝදනා පළ කර ඇත්තේ මියගිය අය ජීවත්ව සිටිමින් එය කියවන බව උපකල්පනය කරමිනි. මියගිය තම පුතා තමාගේ මුණුපුරා ලෙස නැවත ඉපදී සිටීමට හැකි බව කියා, වරක් මම, මවකගේ අවපාතය හා Trigeminal neuralgia තත්වයට සහනයක් ගෙන දුනිමි. මෙහිදී මනෝකාය මතයද මට උපකාරී විය.
             මියගිය අයට ජීවත්ව සිටින කල තම යුතුකම් ඉෂ්ඨ නොකලා යයි, පසු තැවෙන අයද වේ. දුර්වල සිත් ඇති ඔවුන්ට පසුව බයක් ඇතිවේ. මළගිය ප්‍රාණකරු භූතාත්මයකින් නිවසට පැමිණ තම පවුලට හදි කරතැයි බිය වේ. සමහරුන්ට හොල්මන් ලෙස රෑට ඔවුන්ව පෙනේ. සිහිනයෙන් දැක බිය වේ. ඒ පිළිබඳව බොහෝ වියදම් කර තොවිල් පවිල් කරති. එම භූතයා තමාට අරක් ගෙන සිටිතැයි බියවී, නූලකින් බැඳ, බෝතලයක සිරකොට මුහුදේ දම්මවයි. මේවා සියල්ල අර්ථශූන්‍ය වේ. වැඩියෙන්ම Guilty දැනෙන පවුලේ අය වැඩියෙන්ම මළගෙදර අඬති, දොඩති, වැළපෙති, සිහිසුන්ව බොරුවට වැටෙති. අන් අය සිතන්නේ ඔවුන්ගේ ආදරය පුදුම සහගත බවයි. මෙය මිථ්‍යාවකි.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......